රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් අද (23) බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.
ඩිජිටල් මරණ සහතික දත්ත පද්ධතිය මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීම සිදු කරනු ලබයි.
මෙලෙස ඩිජිටල් පද්ධතියක් මඟින් මරණ සහතික නිකුත් කිරීම හරහා යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරක්ෂිතව දත්ත ගබඩා කිරීම මඟින් තොරතුරුවල සුරක්ෂිතතාව ද තහවුරු වේ.
මෙහිදී නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව පද්ධතිය හරහා ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි පරිදි විශේෂ QR කේතයක් අඩංගු කර ඇති අතර, මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේ ආරක්ෂිත උපාංග ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියක ය. මෙම පද්ධතිය යටතේ කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස මුද්‍රණය කරන ලද පළමු සහතිකය කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා වෙත ප්රදානය කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පෙන්වා දුන්නේ උපතේ සිට මරණය දක්වා අවශ්‍ය සහතික ලබාගැනීමේදී ජනතාව මුහුණ දුන් කටුක අත්දැකීම් අනාගත පරපුරට මුහුණ දීමට සිදු නොවෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් මරණාධාර සමිතියකින් ලබාදෙන සහනයක් ගැනීමට, රක්ෂණ වන්දි, වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ආදී බොහෝ සහන ලබාගැනීමට ගන්න මරණ සහතිකය කඩිනමින් ලබා දීමට අවශ්‍ය බවයි.
මෙහිදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් යන මහත්වරු ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට රෙජිස්ට්‍රාර් ජනරාල් එස්.ජලදීපන්, අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.