Saturday, December 06, 2025
Follow Us
රන්ටැබේ - මහියංගනය විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය යථාතත්වයට පත් කෙරේ

රන්ටැබේ - මහියංගනය 132kV විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සැළසුම් කළ දිනට දින කිහිපයකට කලින් යථාතත්වයට පත්කොට මහියංගනය හා නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවලට විදුලි සැපයුම ලබාදීමට හැකිවීම ජයග්‍රහණයක් බවත් ඒ සදහා දායක වූ කැපවීමෙන් කටයුතු කළ විදුලි සේවකයින් හා ඉංජිනේරුමහතුන් ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

“දිට්වා” සුළි කුණාටු තත්වය නිසා මෙරට විදුලි පද්ධතියේ සිදු වූ බරපතලම බිද වැටීම ලෙස දැක්විය හැකි ඉහත සම්ප්‍රේෂණ මාර්ගයේ කුළුණක් සහ රැහැන් පද්ධතියට සිදු වූ හානි නිසා පෙර කී ප්‍රදේශවලට විදුලි සැපයුම බිද වැටී තිබුණි. එය යථාතත්වයට පත්කිරීමට දෙසැම්බර් 10 දක්වාම කල්ගත වනු ඇතැයි ගණනය කර තිබුණද අද (06) පස්වරු 05.30 වන විට විදුලි සැපයුම යථාතත්වයට පත් කළ හැකි විය. පසුගිය 04 දින මෙම ඉදිකිරීම් නිරීක්ෂණය කළ බලශක්ති අමාත්‍යවරයා අවශ්‍ය මගපෙන්වීම සහ උපදෙස් ලබාදුන් බවද විශේෂයෙන් සදහන් කළ යුතුය.