“රජයේ ප්‍රතිපත්තිය වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යථාර්තයක් කරන්න රජය කැපවී සිටිනවා. ලස්සන ගමක් හදා ලස්සන ජීවිතයක් හදන්න අපි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. රටේ ජනතාවගෙන් 70% ක් ග්‍රාමීය ජනතාවයි. ඔවුන් පොහොසත් කරන්න, ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්න මේ පුරවැසි ආණ්ඩුව මුල් තැන දෙනවා.”
ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මේ අදහස් ප්‍රකාශ කලේ ‘ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන’ 2025.06.21 වන දින නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දකුණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. මෙම මාර්ගය සංවර්ධනය සඳහා වැයවන මුදල රුපියල් මිලියන හැටපහකි. මීට සමගාමීව දිවයින පුරා ස්ථාන 57ක දී ග්‍රාමිය මාර්ග ව්‍යාපෘති 57ක වැඩකටයුතු අද (2025.06.21) දින ආරම්භ කෙරිණ. සමස්ථ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 14,000 කි.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා :
‘පැවැති ආණ්ඩු සංවර්ධනය මුවාවෙන් ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් නාස්ති කළා. හොරකම වගේම නාස්තියත් නතර කළ යුතුයි. හොරකම වගේම අපරාධයක් නාස්ති කිරීම. සංවර්ධන වැඩ ප්‍රමාදය හා කල්මැරීමත් අපරාධයක්. එම නිසා නව රජයේ අදූෂිත වැඩ පිළිවෙලට ජනතා සහභාගීත්වය ඇතිව වැඩකළ යුතුයි. ගමේ සංවර්ධනයට නිලධාරීන්ට අවශ්‍ය සහය ලබා දෙන්න, මහජන කමිටුව හරහා සංවර්ධන ක්‍රියාවලියට දායකවන්න. ‘පුනරුදයට මඟ’ ග්‍රාමීය සංවර්ධනයයි. එය විනිවිදභාවයෙන් දියත් කරන්න. එවිට ඉහළ ප්රතිලාභ ලබාගන්න පුළුවන්.
ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව තවත් මිලියන 5,000ක අමතර මුදලක් රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබා දී තිබෙනවා. ඉලක්කගත සංවර්ධනයක් තුළින් ජනතාවගේ ජීවිත ලස්සන කරවන්න මේ මුදල් විනිවිදභාවයෙන් වැය කරනවා. අවිස්සාවේල්ල නගරය අංග සම්පූර්ණ නගරයක් ලෙස සංවර්ධනය කරනවා. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර, පොදු ජනතාවට ලැබෙන පහසුකම් නැංවීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ගම හදන සංවර්ධන සැලැස්ම සාර්ථක කරගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සහය නොඅඩුව ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.’
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක චන්දන සුරියආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ මහජනතාව විශාල පිරිසක් එක්ව සිටිය හ.