Friday, May 03, 2024
Follow Us
සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම උප ව්‍යාපෘති 8ක්

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිලධාරීන්ට පසුගියදා (19) උපදෙස් ලබා දුන්නේය.

මෙම ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බවයි. 2019 වසරේදී ආරම්භ කෙරුණු මේ ව්‍යාපෘතිය රටේ ඇති වූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිවයි. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30කි. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බව ද ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසීය.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු කීපයකි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම, ආර්ථික සංවර්ධනය හා ආදායම් උත්පාදනය කිරීම සහ පාරිසරික කළමනාකරණය ඒ අතර වේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ සීගිරිය සහ දඹුල්ල  නගරවල සංචාරක කර්මාන්තය නඟා සිටුවීම පාර්ශ්වකාර ආයතන සමඟ එක්ව මේ වන විට ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බවයි.

සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම උප ව්‍යාපෘති 8ක් යටතේ සිදු කෙරේ. එනම් සීගිරිය නව ගම්මාන රථගාල, සනීපාරක්ෂක පහසුකම් හා සීගිරිය පර්වත පිවිසුම් ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම, පිදුරංගල, මාපාගල පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය, කළුදිය පොකුණ වැඩිදියුණු කිරීම, රාමකැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංවර්ධනය, සීගිරි වැව වැඩි දියුණු කිරීම, තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම, ඉනාමළුව වැව හා ගලේවෙල වැව අවට යටිතල පහසුකම් සංවර්ධනය, කැළිකසළ කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමයි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගර හා ඒ අවට හඳුනාගත් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කලාප ලෙස සංවර්ධනය කරන බවයි. මේ ප්‍රදේශ සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙසද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

සීගිරිය, දඹුල්ල ව්‍යාපෘතිය සඳහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මේ වන විට ලබා ගෙන ඇති බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි