Saturday, July 27, 2024
Follow Us
නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ 

ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවයින පුරා ඩිපෝවල පවතින පුරප්පාඩු සඳහා නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ සේවයට එක්වූ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී  සිදුකෙරිණි.

විශේෂ කැබිනට් අනුමැතියක් මත කොන්ත්‍රාත් පදනම යටතේ නවක රියදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීම යටතේ රියදුරන් 123 දෙනකු සහ කොන්දොස්තරවරුන් 18 දෙනෙකු වෙත මෙම නව පත්වීම් පිරිනැමීම සිදු කෙරිණි. 

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යවරයා,

 ‘’අප මෙම අමාත්‍යංශය වගකීම භාරගන්නා විට 2025 වන විට ලංගම අනිවාර්යෙන් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ ඉලක්කයක් අපට පැවරුණා. එසේ නොවුවහොත්  ලංගම පුද්ගලික පුද්ගලිකකරණයට ලක් කිරීමේ අවදානමක් පැවතුණා.

 ඒ අනුව ඉතාමත් අපහසුවෙන් විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයේ තිබූ ආයතනය ගොඩ ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500ක්‌ ධාවනයට එක් කරනු ලැබුවා. භාවිතයෙන් ඉවත් කර තිබූ බස් රථ 400ක්‌ පුනරුත්ථාපනය කර  නැවත ධාවනයට එක් කරනු ලැබුවා. රාජ්‍ය සේවයේ කිසිදු තනතුරකට නව බඳවාගැනීම් සිදු නොකෙරෙන පසුබිමක් තුළ පවා විශේෂ කැබිනට් අනුමැතියක් සහිතව නවක රියදුරන් සහ කොන්දොස්වරුන් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

 මේ සියලු උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය ඉතිහාසයේ පළමු වතාවට බිලියන එකකට වඩා වැඩි ලාභයක් ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. එය ප්‍රමාණවත් ලාභයක් නොවූවත් ලාභ ඉපදවිය හැකි ආයතනයක් බවට ඒ තුළින් සුභදායී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.’’

 ඒ ඉලක්කයට ළඟා වීම සඳහා විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම දෛනිකව උපයන ආදායම සම්පූර්ණයෙන්ම ඩිපෝව වෙත ලැබිය යුතුයි. නමුත් සුළුතර පිරිසක් විසින් ආදායමෙන් කොටසක් තම පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම හේතුවෙන් ආදායමෙන් විශාල ප්‍රමාණයක් අහිමි වී යනවා. එවැනි මූල්‍ය වංචා හේතුවෙන් වැරදිකරුවන් වන පුද්ගලයෙකුට අනිවාර්යෙන්ම රැකියාවෙන් ඉවත්වීමට සිදුවනවා. එසේම එවැනි මූල්‍ය අක්‍රමිකතා හෝ කප්පම් ගැනීම් වැනි ක්‍රියා පිළිබඳ පූර්ණ රහසිගතභාවය සහිතව දැනුම් දිය හැකි 1958 විශේෂ දුරකථන අංකය ද හඳුන්වා දී තිබෙනවා.