Wednesday, July 23, 2025
Follow Us
මහ මැතිවරණයට එරෙහිව පාඨලී හා වෙල්ගම අධිකරණයට

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම පෙත්සම් ඉදිරිපත් කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමයි.

මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප‍්‍රතිපාදන සලසා ඇති බවයි. ඒ අනුව මහ මැතිවරණය පැවැත්විය යුත්තේ අපේ‍්‍රල් මස 25 වනදායි.

එහෙත් පවතින කොවිඞ් වසංගතය හේතුවෙන් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කළ බවද පෙත්සමේ සඳහන්. කෙසේවෙතත් මෙලෙස මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට පටහැනි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරි දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැුස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද පෙත්සමෙන් පෙන්වා දෙනවා.

එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති බැවින් මෙම අවස්ථාවේ දී මැතිවරණයක් පැවැත්වීමෙන් ජනතාවට නිදහසේ ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වනු ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ. කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසටද ඔවුන් ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

(Neth)