Wednesday, July 23, 2025
Follow Us
ජනතාව වෙනුවෙන් හිරේ යන්නත් අපි සූදානම් - බන්දුල ගුණවර්ධන

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක රජයේ වියදම් පියවීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිව තිබෙන බවත්, ඒ අනුව යළි මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ගතවන මාස තුනක කාලයක් සඳහා එම බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත හිමිකර දී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එය නොපිළිගන්නා ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඊට අභියෝග කළ හැකි බවද ඇමතිවරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට රජයේ වියදම් පියවීම සඳහා නීතිමය බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්නේ නම් එම වරද පිළිගනිමින් සිරගත වීම සඳහා වුවද සූදානම් බවත්, රට මුහුණ දී ඇති වසංගත තත්වය හමුවේ ජනතාව වෙනුවෙන් සහන සැලසීම ඇතුළු සියලු ක්‍රියාමාර්ග ගන්නේ සිරගත වීමට වුවද සූදානමින් බවත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

නීතිවිරෝධී ආකාරයෙන් මුදල් නෝට්ටු අච්චු ගසන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ එම චෝදනාවට අදාල මූලාශ්‍ර හෝ සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඕනෑම ප්‍රසිද්ධ විවාදයකට රජය සූදානම් බවයි. මුදල් නිකුත් කිරීම සහ මුදල් නෝට්ටු අච්චු ගැසීම යනු කාරණා දෙකක් බවත් අදාල චෝදනාව පැහැදිලිව සඳහන් කරන්නේ නම් ඊට පිළිතුරු ලබාදිය හැකි බවත් ඔහු පවසනවා.

(LNW)