Wednesday, July 23, 2025
Follow Us
කොරෝනා මරණවලදී ජාතිවාදී වෙනස්කම් එපා. අවසන් ගමනවත් ගෞරවණීයව යන්න දෙන්න - මරික්කාර්

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සමීපතම ඥාතීන්ට ඒ අවස්ථාවට සහභාගී වීමට ඉඩ ලබාදෙන ලෙසත් එහිදී ජාතිවාදී ආගම්වාදී පදනමින් වෙනස්කම් නොකරන ලෙසත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

"කොරෝනා වසංගතයට ඕනෑම කෙනෙක් ගොදුරු වන්නේ තම කැමැත්තෙන් නෙවෙයි. තමන් දන්නැතුව තමයි රෝගයට ගොදුරු වන්නේ. කොරෝනා වසංගතයෙන් මියයන ඕනෑම කෙනෙක් මියයන්නෙත් අවාසනාවන්ත විදියට. ඒනිසා අවම වශයෙන් ඒ මියයන අයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව පවුලේ ඥාතීන්ටවත් ලබාදීම අත්‍යාවශ්‍ය කාරණයක්.

අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා කොරෝනා රෝගයෙන් මියයන ඕනෑම කෙනෙකුට අවසන් ගෞරව දැක්වීමට තම පවුලේ අයටවත් අවම අවස්ථාව ලබාදීමට තරම් මානුෂිකව කටයුතු කරන්න කියලා. මේ රටේ පුරවැසියන්ව ජාතීන් ආගම් හැටියට තවදුරටත් බෙදන්නෙ නැතුව, මේ කොරෝනා වසංගතය ඇතුළෙත් ඒක ව්‍යාප්ත කරන්නෙ නැතුව මේ එළඹිලා තිබෙන මොහොතෙදි ශ්‍රී ලාංකිය ජාතියක් හැටියට හැමෝටම තම තමන්ගේ ආගමික කටයුතු හරහා අවසාන ගෞරවය ලබාදීමේ අවස්ථාව ලබාදීලා ඔවුන්ට ගෞරවනීය පුරවැසියෙන් විදියට අවසන් ගමන් යාමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක්.

අපි දැක්කා 9 වෙනි කොරෝනා ආසාදිත මරණය හැටියට වාර්තා වුණු කාන්තාවගේ අවසන් මොහොතෙදි ඇයගේ ස්වාමිපුරුෂයාට දරුමල්ලන්ට අවස්ථාවක් ලැබුණෙ නෑ අවසන් ගෞරව දක්වන්න. එක දරුවෙකුට පමණයි අවස්ථාව ලැබුණෙ.

මං හිතන්නෙ මේක රජය විසින් බරපතළ ලෙස සැලකියයුතු කාරණයක්. මේක බරපතළ ලෙස සලකලා ඒ ජනතාවට ගෞරවනීය පුරවැසියෙන් විදියට ජීවත්වීමේ අවස්ථාව ඔබ නුදුන්නට කමක් නෑ, හැබැයි ගෞරවනීය මරණයක්, අවසානයක් ලබාදීමේ අයිතිය තහවුරු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒකට විරුද්ධව ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ තත්වය අපි පිළිකුලින් හෙළා දකිනවා කියන එකත් කියන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

 

(LNW)