Friday, October 18, 2024
Follow Us
විජේදාසට ජනපතිගෙන් අවවාදයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැති ඇමතිවරුන් පිරිසක් සමඟ සුහද කතාබහක නියැළී සිටියදී එතැනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අතටම අහුවෙච්චි දෙන්නෙක් අත ඇරලා. උන් පුපුරුවාගෙන

"බලන්න ජනාධිපතිතුමා මේ CID එක කරලා තියෙන වැඩ. වනාතවිල්ලුවෙදි අතටම අහුවෙච්චි ත්‍රස්තවාදියො දෙන්නෙක්ව නිදහස් කරලා. නිකම්ම පොලිස් ඇප මත මුදාහැරලා. උන් දෙන්නා තමයි ශැංග්‍රිලා එකේ බෝම්බ පුපුරවාගෙන තියෙන්නේ. බලන්න කොයි තරම් අපරාදයක්ද කියලා" යනුවෙන් විජේදාස මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

මෙහිදී එතැන සිටි රාජිත සේනාරත්න අමාත්‍යවරයා මීට මැදිහත් වෙමින් "ජනාධිපතිතුමා, මෙහෙම එකක් වෙලා නෑ. මේ කතාව වැරදියි. ඕනෙ නම් CID එකට කෝල් එකක් දාලා අහලා බලන්න" යනුවෙන් පවසා ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුමක් ගෙන සිද්ධිය පිළිබඳ විමසා ඇති අතර ඔවුන් සිදුවීම පැහැදිලි කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම

2019 ජනවාරි 17 වනදා වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තකදී පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශනවලදී ඔවුන් අතරින් දෙදෙනෙකු සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔප්පු වූ හෙයින් ඔවුන්ව මුදා හැරිය නමුත් සෑම මසකම අවසන් සෙනසුරාදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කළ බවත් ඔවුන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුවත් එසේ පැමිණ අත්සන් තබා ගිය බවත් එහෙයින් එසේ මුදාහැරිය පුද්ගලයින් ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරුවාගෙන මරාගෙන මැරුණු බවට කියන කතාව අමූලික බොරුවක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

එම නිලධාරීන් කතාව අවසන් කර තිබුණේ "උන් පුපුරුවා ගත්තු බෝම්බයක් නෑ සර්. උන් දෙන්නා අප්‍රේල් 27 සෙනසුරාදාත් ආවා. මැයි 25 සෙනසුරාදාත් ආවා. මැරිලා නැත්තං මේ සෙනසුරාදාත් එයි" යනුවෙනි.

නෝන්ඩි වෙන්න එපා විජේදාස !

දුරකථන ඇමතුම විසන්ධි කළ ජනාධිපතිවරයා, විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත හැරී පවසා තිබුණේ "මං ඔයාව විස්වාස කරලා CID එකටත් කෝල් කරා. බොරු කියලා නිකං නෝන්ඩි වෙන්න එපා විජේදාස." කියාය.

විජේදාසලා ඇතුළු රාජපක්ෂවාදී කණ්ඩායමම හැමතැනම බොරු පතුරුවා හරින්නේ මේ ආකාරයෙනි. මෙහිදී වහා මැදිහත්ව සත්‍ය තත්වය පෙන්වා දීමේ ගෞරවය රාජිත සේනාරත්න මහතාට හිමි විය යුතුය.

(LNW)