Tuesday, July 22, 2025
Follow Us
අපි යන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නයි - අකිල

මැයි 04 වනදාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති පැරණි පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 225 දෙනාගේ රැස්වීමට තමන් සහභාගී වන්නේ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ප්‍රකාශ කිරීම සඳහා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"අරලියගහ මන්දිරයට අපට ආරාධනා කරලා තියෙනවා සියලුම පක්ෂවලට. ඒ ආරාධනා කරලා තියෙන්නෙ රටේ වර්තමාන දේශපාලන තත්වය සහ කොරෝනා වෛරසය ඇතුළු සියලුම දේවල් සාකච්ඡා කරන්න. ආරාධනාවක් ලැබිලා තියෙනවා, අපි තීරණය කරලා තියෙනවා යන්න ඕනෙ කියලා. මොකද අපි ගියෙ නැත්නම් අපට චෝදනාවක් එයි ඒක මඟහැරියා කියලා.

අපට ආණ්ඩුවට අපේ අදහස් පක්ෂයක් විදියට කියන්න ලැබෙන තැනක් ඒ ස්ථානය. ඒ නිසා අපි පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි කියලා කියන්න බලාපොරොත්තු වෙනවා එතනට ගිහිල්ලා ආණ්ඩුවේ ප්‍රධානීන්ටම.

එහෙම නැතුව මේ ආණ්ඩුව හුරතල් කරන්න අපි යන්න බලාපොරොත්තුවක් නෑ. රටේ ජනතාව ගැන හිතලා දේශපාලන න්‍යායපත්‍රයකින් තොරව කටයුතු කරන්න ඕනෙ කියලා අපි විශ්වාස කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එජාප මහලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (02) මැතිවරණ කොමිසමේ පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)