Tuesday, July 22, 2025
Follow Us
කොරෝනා ගණන් ගතයුතු නෑ කියන බන්ධුලගෙන් පේන්නේ කැබිනට් මණ්ඩලයේ තරමයි - හරීන්

කොරෝනා රෝගයෙන් තවමත් මියගොස් ඇත්තේ 07 දෙනෙකු පමණක් නිසා එය ගණන් ගතයුතු නොමැති බවට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කළ ඔළමොට්ටල ප්‍රකාශය හරහා පෙන්නුම් කෙරෙන්නේ වත්මන් කැබිනට් මණ්ඩලයේම තරම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

"ආචාර්ය, මහාචාර්ය, සමාචාර්ය ඔය ඔක්කොම දෙන්න ඕනෙ බන්ධුල ගුණවර්ධන ශූරීන් දැන් කියලා තියෙනවා ලංකාවේ ඩෙංගුවලින් මැරුණු ප්‍රමාණය 500යි 600යි අවුරුද්දකට ඒනිසා වැඩිය කොරෝනා ගැන හිතන්න ඕනෙ නෑ කියලා. ඔන්න තේරෙණවාද ලංකාවේ කැබිනෙට්ටුවේ තත්වේ ?

මම නම් ඉතිං වැඩිය පුදුම වෙන්නෙ නෑ එතුමා එදා 2500ට කන්න පුළුවන් කිව්ව නිසා වෙන්න ඇති දැන් 5000ක් දෙන්නේ. හැබැයි කල්පනා කරලා බලන්න කොරෝනා වෛරසය කියන්නෙ මේක ලෝක ව්‍යවසනයක්. ඒ කියන්නෙ ඒක බෝවෙන විදිය ඉතාමත්ම ඉක්මන්. ඒක නොතේරෙන මිනිහෙක් ඉන්නවා නම් කැබිනෙට්ටුවේ, ඒක නම් සම ප්‍රකාශක කියන්නේ ඩෙංගුවලින් 500ක් මැරුණා, ඒනිසා කොරෝනා ගැන බයවෙන්න දෙයක් නෑ කියලා මොන තරම් ඔළමොට්ටලයෙක්ද ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බන්ධුල ගුණවර්ධන මහතා පෙරේදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ ඇතැමුන් කොරෝනා නිසා මැතිවරණය කල්දමන්නැයි කීවත් මීට පෙර ඩෙංගු වසංගතයෙන් වාර්ෂිකව 500 - 600 පමණ මියයද්දී සියලු මැතිවරණ මෙරට පැවැත්වුණු බවත් කොරෝනා රෝගයෙන් තවමත් මියගොස් ඇත්තේ 07 දෙනෙකු පමණක් බවත්ය.

(LNW)