Friday, October 18, 2024
Follow Us
19න් ජනාධිපති බලතල අඩු කරලා නෑ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනාගත ජනාධිපතිවරයාගේ බලතල දැනට වඩා අඩුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ බලය අඩුවන්නේ කුමන වගන්තියක් ප්‍රකාරවදැයි ඇසූ විට ජයසේකර මහතා නිරුත්තර වන බව පැවසූ‍ ගම්මන්පිල මහතා හැකිනම් තමන් සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට පැමිණෙන්නැයි ජයසේකර මහතාට අභියෝගයක් ද කළේය.

අනාගත ජනාධිපතිවරයාට තබාගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක්ය යන කතාව ද බොරුවක් බව පැවසූ ඒ මහතා පසුගිය දිනක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපූරුවට නීතිය හා සාමය අමාත්‍යංශය පවරාගත් බවයි සඳහන් කළේ.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

උදය ගම්මන්පිල මහතා සිය ව්‍යවස්ථා දැනුම මනාව පෙන්නුම් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කෙරුණු අවස්ථාවේදීය.

ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පඩිපෙළ මත සිට ජනමාධ්‍ය හරහා ඒ මහතා විසින් ඉදිරිපත් කළ තර්ක සියල්ල පට්ටපල් බොරු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 07 දෙනෙකු දුන් ඒකමතික තීන්දුවෙන් ඔප්පු විය.

(LNW)