Tuesday, July 22, 2025
Follow Us
වැදගත්ම දේ තමයි PCR පරීක්ෂණ, ඉතියෝපියාවත් අපිට වඩා පරීක්ෂණ කරනවා - රාජිත

ජනතාව නිරෝධායනයට ලක්කළ පමණින් කොවිඩ් වෛරසය මර්දනය කළ නොහැකි බවත් එය පැතිරීම වලක්වා ගැනීමේ එක් පියවරක් පමණක් බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි හැකිතරම් PCR පරීක්ෂණ පැවැත්වීම රෝගය පාලනය කිරීම සඳහා ගතහැකි හොඳම විසඳුම බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් රජය මෙම තත්වය තවමත් තේරුම් ගෙන නොමැති බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

ඇමරිකාවේ ආසාදිතයන් ලක්ෂ 08 ක් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ මිලියන 04 කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා පවසන්නේ බොහෝ රටවල් මේ වනවිට මිලියන ගණන් ලක්ෂ ගණන් PCR පරීක්ෂණ සිදුකර ඇති බවයි.

ඊට සාපේක්ෂව තවමත් ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති පරීක්ෂණ ප්‍රමාණය අප්‍රිකානු කලාපයේ දුප්පත්ම රටවල්වලටද වඩා පහළින් තිබෙන බවයි හිටපු ඇමතිවරයා පවසන්නේ. ඉතියෝපියාවේ උගන්ඩාවේ පවා ශ්‍රී ලංකාවට වඩා පරීක්ෂණ සිදුකර ඇති බව ඔහු පවසනවා.

මෙවැනි වසංගත මර්දනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ රටේ සෞඛ්‍ය අංශ සඳහා බවත්, හමුදාවට, පොලීසියට, රාජ්‍ය යාන්ත්‍රණයට කළ හැක්කේ ඊට අවශ්‍ය සහයෝගය ලබාදීම සහ පහසුකම් සැපයීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් වසංගත රෝග පිළිබඳව, වෛරස් රෝග පිළිබඳව සුදුසුකම් සහිත විශේෂඥයන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු වුවත් එවැනි තත්වයක් දක්නට නොලැබෙන බව රාජිත සේනාරත්න මහතා පවසනවා. ජනතාවට උපදෙස් දෙන්නේ වසංගත රෝග පිළිබඳව අවබෝධයක් තිබෙන විශේෂඥයන් නොව ආණ්ඩුව පිහිටුවීමට සම්බන්ධ වූ පුද්ගලයන් බවට රාජිත සේනාරත්න මහතා චෝදනා කරනවා.

(LNW)