මැතිවරණයට යොදවන කෝටි ප්‍රකෝටි ගණන් වූ මුදල් සම්භාරය යොදවා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින විසි අට ලක්ෂයක් වන ජනතාවගේ ණය කපාහැරී ඇතුළු සහන ලබාදී ඔවුන් එම ණය උගුලෙන් මුදා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
ආණ්ඩුවේ සහන වැඩ පිළිවෙළින් ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් මග හැරුණේ කොහොමද?
‘‘කොරෝනා වෛරසය නිසා අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් ඉතාමත්ම අසහනකාරී තත්වයකට පාත්‍ර වී තිබෙනවා. මේ වන විට විසි අට ලක්ෂයක් අපේ රටේ ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලේ හිර වෙලා තිබෙනවා. අද වන තෙක් රජය ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ මර උගුලේ තෙරපිලා සිටින විසි අට ලක්ෂයක් වන ජනතාවට සහන ලබාදෙන්නට කටයුතු කරල නැහැ.‘‘ යැයි එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ විසි අට ලක්ෂයෙන් විසි හතර ලක්ෂයක්ම කාන්තාවන් බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
තවත් සිය දිවි නසාගැනීමේ රැල්ලක් අත ළඟද?
කොවිඩ් වසංගත තත්වය හිස එසවීමටත් පෙර සිටම මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුව ඔඩුදුවා තිබූ බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මේ වන විට ණය උගුලේ හිරවුණු 200 දෙනෙක් පමණ සිය දිවි නසාගෙන ඇති බව ද සඳහන් කළේය. පවතින තත්වය අනුව තවදුරටත් අසරණ භාවයට පත් ව සිටින මේ ජනතාවට කඩිනම් සහන ලබාදිය යුතු බව ඒ අනුව අවධාරණය කෙරිණි.
මැතිවරණයට යොදවන කෝටි ප්‍රකෝටි ගණන් මුදල්වලින් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්!
මෙය මැතිවරණ පවත්වන අවස්ථාවක් නොව ජනතාවට සහන ලබාදෙන අවස්ථාවක් බව ද ඔහු තවදුරටත් පැවසීය. ‘‘මැතිවරණයක් වෙනුවෙන් කැපකරන කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් ක්ෂුදූ මූල්‍ය ණය මර උගුලේ තෙරපිලා සිටින අපේම රටේ විසි අට ලක්ෂයක් වන ජනතාව ඇතුළු සමස්ත ජන සමාජයට සහන ලබාදීම සඳහා යෙදවිය යුතු බව ද ඔහු තවදුරටත් පැවසීය.
‘‘ප්‍රථමයෙන් අපි මේ මහා අර්බුදයෙන් රටක් හැටියට ගොඩ එමු. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලාභීන්ට සහනයක් ලබා දෙමු.‘‘
වසංගත සමයේ ණය සහ පොලිය කපා හරින්න!
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලාභීන් සඳහා මේ වසංගත සමයේදී ණය සහ පොලී වාරික කපා දැමීමට කටයුතු කිරීම සඳහා මුල් වන ලෙසටද ඔහු එහිදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
‘‘මේ ණය ලාභීන් ආයුධයක් කරගෙන එක එක කණ්ඩායම් සුළු සහන ලබාදීලා ප්‍රචාරක වාසි ලබාගන්නවා. නමුත් සත්‍ය තත්වය මොකක්ද? ඔවුන් අද අසරණයි. ඔවුන් ඉමහත් පීඩනයකට, අසහනයකට ලක් වෙලා.... ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තුළින් මහා පීඩනයකට අසහනයකට, දැවැන්ත සමාජයීය ආගාධයකට ඇද වැටී සිටින ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ ණය, මැතිවරණ ගැන හිතන්නෙ නැතුව කපා හරින්න.. පොලී වාරික ටික කපා හරින්න.
මේ ජනතාවට - හුස්ම ගන්න - ඉඩක් දෙන්න!
ස්ථාවර රටක් නිර්මාණය වූ පසු ප්‍රජතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීමට හැකි බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පවසයි.
‘‘කරුණාකරලා අපේ මාතෘභූමියේ ජනතාවට හුස්ම ගන්නට ඉඩක් - දෙන්න...මේ විසි අට ලක්ෂයට හුස්ම ගන්නට ඉඩක් ලබා දෙන්න.. ‘‘
(LNW)