Monday, July 21, 2025
Follow Us
කොරෝනා සටනින් අපි දිනලා ඉන්නෙ, ජුනි 02ට කලින් ඡන්දෙ තියමු - විමල්

කොරෝනා වෛරසය මැඬපැවැත්වීමේ සටනේදී තමන් ජයග්‍රාහී ස්ථානයක පසුවන බැවින් ජුනි 02 වනදාට මහමැතිවරණය පැවැත්වීමට හැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

"සමහරු අහනවා ජුනි 02 වෙනකොටත් මහමැතිවරණය තියන්න බැරි වුණොත් මොකද වෙන්නෙ කියලා. එහෙම බැරි වෙනවා නම් වෙන්නෙ කොරෝනා වසංගත තත්වය මැයි මාසය පුරාත් ඉතා බලවත් ලෙස හිස ඔසවනවා නම්. නමුත් දවසින් දවස ඔප්පු වෙමින් තිබෙනවා දවසින් දවස ඒ අභියෝගය අපි ජයගැනීමේ දිසාවට මිස තව තවත් ඒ වසංගතයට ගොදුරුවීමේ දිසාවට නෙවෙයි ගමන් කරමින් තියෙන්නෙ.

ඒ නිසා ඒ දෙස සුබවාදීව බලන්න පුළුවන් ඕනෙ කෙනෙකුට. අපේක්ෂා තියාගන්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාල අරින දින ප්‍රකාශයට පත්වෙලා තියෙනවා ක්‍රම ක්‍රමයෙන්. ඒවගේම පාසල් නිවාඩුව අවසන් වෙන දින ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. ඒ කියන්නෙ අපි ඉන්නෙ සටනේ ජයග්‍රාහී පැත්තට බරව. එහෙම නැත්නම් අපට බැහැ, අපි ඉන්නෙ තවදුරටත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙන පැත්තට බරව නම් අපිට විශ්වවිද්‍යාල අරින දිනය ගැන මෙහෙම ප්‍රකාශයට පත්කරන්න ලැබෙන්නෙ නෑ. අපට පාසල් නිවාඩුව ඉවර වෙන දිනයක් ගැන මෙහෙම කියන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

ඒ නිසා ජුනි 02ට කලින් බැරිවුණොත් කියන ප්‍රශ්නෙ නෙවෙයි අපි නඟන්න ඕනෙ, ජුනි 02ට කලින් අපි මැතිවරණය තියලා ඒ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවයත් ඉටුකරමු. කොරෝනා වසංගතයත් ජයගෙන සෞඛ්‍ය සම්පන්න පරිසරයක් හදලා අපි ඒ අභියෝගය ජයගනිමු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කර තිබුණේ ඊයේ (14) සමාජ මාධ්‍ය ජාල වෙත වීඩියෝවක් නිකුත් කරමිනි.

(LNW)