Friday, October 18, 2024
Follow Us
රිෂාඞ් ඇමැති ධුරය භාර ගත්තොත් යළි විශ්වාසභංගයක්

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා යළි ඇමැති ධුරය භාර ගතහොත් ඔහුට එරෙහිව නැවතත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඊයේ (18දා) තීරණය කළහ.

එමෙන්ම ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමටද එම මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. එම විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේ එනම් ජූලි 09 සහ 10 යන දිනවල විවාද කිරීමට නියමිතය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැත්විණි.

රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් විශ්වාසහංග යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. බදුර්දීන් මහතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම විශ්වාසභංග යෝජනාව අහෝසි විය. ඒ අනුව බදුර්දීන් මහතා යළි ඇමැති ධුරය භාරගතහොත් පෙරකී චෝදනා යටතේ යළිත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු බවට මෙම මන්ත‍්‍රී කණ්ඩායම එකඟත්වයට පැමිණ තිබේ.

මීට අමතරව ඉදිරි කාලයේදී ආණ්ඩුවට එරෙහිව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එකඟත්වයකට පැමිණ ඇත.

(Lanka Leads)