විපක්ෂයේ මහජන නියෝජිතයන් විසින් ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතුවලට රජය සෘජුවම බාධා කරන බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා. රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමෙන් සහ පාලිත තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමෙන් ආණ්ඩුවේ උත්සාහය කුමක්ද යන්න පැහැදිලි වන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
ජනතාව බෙදාදීමට තිබෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් ගසාකන බවට තොරතුරු වාර්තා වී තිබියදී ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා පොලීසිය විපක්ෂයේ දේශපාලනඥයන් සිය පෞද්ගලික වියදමින් සිදු කරන සහන කටයුතුවලට විවිධ බාධා සිදු කරන බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.
බලය ලබා ගැනීමේ පටු චේතනාවෙන් යුතුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ආණ්ඩුව විසින් කොරෝනා වෛරසයද තම දේශපාලනය සඳහා යොදාගනිමින් සිටින බවටත් ජනතාව විඳිමින් සිටින දුක හඳුනාගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවටත් සමගි ජන බලවේගය චෝදනාවක් එල්ල කරනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම හෙළා දකින සමගි ජන බලවේගය, ඔහුව වහාම නිදහස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
(LNW)