Sunday, July 20, 2025
Follow Us
ඡන්දෙ තියන්න ආණ්ඩුව උත්සාහ කරලාත් නෑ, ආණ්ඩුවට ඡන්දෙ ඕනෙත් නෑ - ගම්මන්පිල

මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කර නොමැති බවත් එසේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට වුවමනාවකුත් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.

"මේ මොහොතේ මැතිවරණය පවත්වන්න ආණ්ඩුව උත්සහ කරලත් නෑ, ඒවගේම ආණ්ඩුවට වුවමනාවකුත් නෑ. අන්න ඒ නිසා තමයි මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නැතිව කල්දාන්න තීරණය කළාම එයට එරෙහිව ආණ්ඩුව කිසිම කරුණු දැක්වීමක් සිදුකළේ නැත්තෙ. ඒක මැතිවරණ කොමිසමේ අයිතියක් වගේම පවතින වාතාවරණය යටතේ මැතිවරණ කොමිසම කළයුතු දෙයක් බවට අපි විශ්වාස කළ නිසා.

ඒ වගේම ආණ්ඩුවෙ අපි කවදාවත් කොතනවත් කියලා නෑ වසංගත තත්වය නොසලකා වහාම මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. මැතිවරණයට නියම කර තිබුණු අප්‍රේල් 25 දිනය තවමත් පසුවී නැති නිසා මේ මොහොතේ ජනාධිපතිතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තු මැතිවරණයට දිනයක් නියම කරන්න. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් නඟන චෝදනාව අසත්‍යයයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

(LNW)