Sunday, July 20, 2025
Follow Us
කොරෝනා නිසා මහමැතිවරණය කොටස් වශයෙන් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය !

පවතින තත්වය හමුවේ 2020 මහමැතිවරණය දිස්ත්‍රික්ක කිහිපය බැගින් කිහිපවතාවකදී ඡන්ද විමසීම් පවත්වා එකම දිනයක ප්‍රතිඵල නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් ගතවීමට පෙර, එනම් ජුනි 02 වනදාට පෙර කෙසේ හෝ මහමැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලයකින් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි තීරණයක් ගෙන ඇති අතර ජනාධිපති ලේකම්වරයා විසින් පසුගියදා මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දී තිබුණේ ද මහමැතිවරණය කල්දමා ඇත්තේ දින 14කට බැවින් 15 වන දිනයේ හෝ එය පැවැත්වීමට හැකියාව පවතින බවය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව තුළ පවතින බිය දුරුකරමින් මැතිවරණය පැවැත්වීම රජය හමුවේ ඇති අභියෝගය වී තිබේ. ජනතාව සැකයෙන් පසුවන්නේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහළ වැටී තුනෙන් දෙකක බලය ලබාගැනීමේ ඉලක්කය අසාර්ථක වීමට ඉඩ ඇති බවට ඔවුන් ගණන් බලා ඇත. අනෙක් අතට මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වුවහොත් එම කාලසීමාව තුළ අනිවාර්යයෙන්ම මතුවන ව්‍යවස්ථාමය අර්බුදය සහ ආර්ථික අර්බුදය නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැඩි ලෙස පහළ වැටීම අනිවාර්යයෙන් සිදුවනු ඇති.

ඒ අනුව එම අභියෝගයට මුහුණ දීම සඳහා පසුගිය යුධ සමයේ ත්‍රස්තවාදයෙන් මුදාගත් කලාප නම් කළ ආකාරයට ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් මුදාගත් කලාප නම්කර ඒවා උත්සවාකාරයෙන් විවෘත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ. චීනයේ වූහාන් නගරය යළි උත්සවශ්‍රීයෙන් විවෘත කළ ආකාරයට මෙසේ මෙරට ද දිස්ත්‍රික්ක කිහිපය බැගින් එකතු කර මුදාගත් කලාප විවෘත කිරීමටත් ඉන්පසු හැකි ඉක්මනින් එම ප්‍රදේශවල ඡන්ද විමසීම් පැවැත්වීමටත් සැලසුම් සකස් කර ඇති බවයි වාර්තා වූයේ.

ඒ සඳහා දැනට කොරෝනා අධි අවදානම් කලාප වශයෙන් නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 19 වනදායින් පසු ක්‍රමිකව ඉවත් කිරීමටත් අප්‍රේල් 25 වනදා වනවිට ශ්‍රී ලංකාව කොරෝනාවෙන් තොර රටක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමටත් සැලසුම් කර ඇති බව සඳහන්. ඊයේ (11) දිනයේදී හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ අප්‍රේල් 25 වනදා වනවිට සුබ ආරංචියක් නිකුත් කිරීමට හැකිවනු ඇති බවකි.

මෙසේ කොටස් වශයෙන් මැතිවරණය පැවැත්වීමේදී ආණ්ඩුවට අතිශයින් වාසි සහගත දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ඡන්ද විමසීම මුලින්ම සිදුකිරීමට නියමිතව ඇති බව ද ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

(LNW)