කොරෝනා වසංගතය හේතුවෙන් පැන නගින හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ණය ගැනීමේ සීමාව වගකීමෙන් යුතුව වැඩි කරන යෝජනාවකට සමස්ත පාර්ලිමේන්තුවේම සහය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
"2020 ජනවාරි 1 සිට 2020 අප්‍රේල් 30 දක්වා කාලය සඳහා 2019 ඔක්තෝම්බර් 23 දින පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් අනුමත් කරන ලද ණය ගැනීමේ සීමාව රු.බිලියන 721 කි. පසුගිය වසරේදී භාණ්ඩාගාරය විසින් 2019 අප්‍රේල් 03 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ බිල්පත් හා බැඳුම්කර බිලියන 194ක් නිකුත් කරන ලදී. එබැවින් ණය ගැනීමේ සීමාව අතික්‍රමණය වීමට ආසන්න බව තහවුරු වේ."
ණය ගැනීමේ සීමාව ළඟා වූ පසු රාජ්‍ය ණය නිකුත් කළ හැකි නීතිමය අධිකාරී බලයක් රජයට නොමැති හෙයින් එහි ප්‍රතිපලයක් ලෙස වත්මන් කොරෝනා අර්බුදය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමේදී රජයට දැරිය නොහැකි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඈති බවයි මංගල සමරවීර මහතා පෙන්වාදෙන්නේ.
මෙම නෛතික බාධාවන් හේතුවෙන් කොරෝනාවට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකුව විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 128 ක මෘදු ණය ලබා ගැනීම ප්‍රමාද විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.
(LNW)