කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරටින්ද හමුවීමත් සමඟ එම ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක විධි විධාන ගෙන තිබෙමින් පවතින මොහොතක දේශපාලන වශයෙන් ද ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාමතම විශාල වගකීම් කොටසක් පැවරී ඇති මොහොතකි. පක්ෂ දේශපාලනය පසෙකින් තබා ජාතික ව්‍යසනයක් පරාජය කරගැනීම වෙනුවෙන් දේශපාලන අධිකාරීන්ගේ සිට ජනතාව දක්වාම එම වගකීම විහිදී තිබේ. එවන් පසුබිමක මේ වන විට එක්සත් ජාතික පක්ෂය රජය සමඟ සාකච්ජා කරමින් එම වැඩපිළිවෙලට ඔවුන්ගේ දායකත්වය සපයමින් තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය රජය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ මේ මොහොතේ ගෝලීය අර්බුදයක්ව පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මතුව තිබෙන ජාතික ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන් බව එජාපය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව එකී පෙළඹුම සහ එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමඟ ලංකා නිවුස් වෙබ් කළ සාකච්ජාව,
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට සිදුකර තිබෙන බලපෑම සුළුවෙන් තැකිය නොහැකියි. මේ වන විට රටම පවතින්නේ නිරෝධායන ඇඳිරි නීතියට යටත්ව. නීතිය එලෙස ක්‍රියාත්මක වෙද්දී මෙම වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා රජය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සමඟ වැඩපිළිවෙලක් ගෙන යනවා. මේ අතරතුර එක්සත් ජාතික පක්ෂය පවසනවා අපිත් සූදානම් මේ මොහොතේ රජයට සහය වෙන්න කියලා. ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් හමු වී සාකච්ජා කරනවා. සර්ව පාක්ෂික හමුවේදීත් එජාපය කැපී පෙනෙන ලෙස කරුණු දැක්වීමක් කරනවා. මේ මොහොතේ මෙවැනි පෙළඹුමකට එජාපයේ යොමුව සම්බන්ධයෙන් පළමුව පැහැදිලි කිරීමක් කරන්න.
ප්‍රථමයෙන්ම අප එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාව තුළ ස්ථාපිත කිරීමට එනම් ඩී.එස්. සේනානායක ගොඩනගපු තැනට ගේන්න කටයුතු කරමින් ඉන්නවා. පක්ෂය තුළ බෙදීමක් ඇති කරපු අය දැන් අපෙන් ඉවත් වෙලා තියෙන නිසා ජනතාවට සමීපව ජනතාවට අවශ්‍ය කටයුතු තමයි කරගෙන යන්නේ. මෙතන බලලෝභීකමකින් තොරව අපට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මට්ටමින් ව්‍යසනයක් ලක්වෙලා තියෙන අවස්ථාවේ මනුෂ්‍යාට මූලිකත්වය දීම මිසක දේශපාලනයේ නියැලීම නොවෙයි. මේක තනිව ජයග්‍රහණය කරන්න පුළුවන් වෛරසයක් නෙවෙයි. ඒ නිසා සියලු දෙනා ඒකරාශී වෙලා මෙය තුරන් කිරීමේ වැඩපිළිවෙලට යා යුතුයි. ඒ පදනමින් තමයි අපි කතා කළේ. සම්බන්ධනාත්මක විවේචනය තුළින් දුර්වලතා කොහෙද තියෙන්නේ පෙන්වාදී ජනතාවට සිදුව තිබෙන අවහිරතා පෙන්වා දී කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව.
මේ සහසම්බන්ධය එජාපයේ සහ රජය අතර ඇතැමුන්ගේ ඩීල් චෝදනාවට තවත් අවස්ථාවක් උදා කරදීමක් නෙවෙයිද?
ඔය ෆුඩ් බෝඩ්වල යන අය කෑගහන දේවල්වලින් වැඩක් නැහැ. ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ ඔය වගේ භේද භින්න කිරීම නෙවෙයි කළ යුත්තේ. ඒකරාශී වෙලා මේ ව්‍යසනය තුරන් කරලා ඊට පස්සේ අපිට පුළුවන් දේශපාලනය වෙන් වෙන් වශයෙන් කරන්න. මේක ජාතික ප්‍රශ්නයක්. මේ මොහොතේ ප්‍රතිපත්තියක් නොමැති අයට උත්තර දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අරයා ජනාධිපති මෙයා අගමැති කියා කියා හිටපු අය දැන් කකුල් මට්ටු දාලා හිරවෙලා ඉන්න කොට දැන් ස්ථාවරයන් වෙනස් කරන්න හදනවා. අපිට ඒවා අවශ්‍ය නැහැ. මේ මොහොතේ ජාතික ප්‍රශ්නයක් තිබෙනවා. ඒක විසඳන්න වෙනවා. දැන් ඇඳිරි නීතියට දවස් 13යි. මිනිස්සු එක තැන හිරවෙලා. මේක දේශපාලනීකරණය කරලා හරියන්නේ නැහැ. බඩු තියෙනවා සල්ලි නැහැ. සල්ලි තියෙනවා බඩු නැහැ. සල්ලිත් නැහැ බඩුත් නැහැ. මේ ප්‍රශ්නවලට අපි උත්තර දෙන්නේ ඕනේ. ඒ නිසා එකට වැඩකරලා මේ ප්‍රශ්න විසඳගන්න වෙනවා. අන්තිමට මිනිස්සු මැරෙන්නේ කොරෝනා වෛරසයෙන් නෙවෙයි බඩගින්නේ ඉඳල.
ජාතික ව්‍යසනය, ජනතාවාදී වැඩපිළිවෙළ..... මේ සියලු කාරණා අතර දේශපාලන අරමුණක් නැත්තේම නැහැ කියන කාරණයකුත් කියවෙනවා. මේ හෙමි හෙමින් සූදානම් වන්නේ ජාතික ආණ්ඩුවකට පාර කපාගැනිමක් කියන කතා බහක් මතු වෙලා තිබෙනවා?
එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතැනදී බලන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. මෙතන අවස්ථාවාදී දේශපාලනයක් නම් කරන්නේ අපිත් රජවරු වගේ දන්නේ නැති දේවල් ගැන කතා කරලා අවවාද දීමක් කරයි. අපි ඒවා කරන්නේ නැතිව බිමට බැහැලා ජනතාවගේ බඩගින්නට උත්තරේ හොයන්නේ. රජයේ නිලධාරීන් මෙතැනදී කොහොමද ක්‍රියා කරන්නේ ඒ වගේ වැඩපිළිවෙල තමයි කතා කරන්නේ. ඇඟිලි දික්කරලා චෝදනා කරලා වැඩක් නැහැ. එතකොට කොරෝනාවෙන් හතරක් මියයද්දී බඩගින්නේ හතළිහක් මැරෙනවා.
මහා මුහුද මැද අපිරිසුදු නැහැනේ. රැල්ලත් එක්ක කුණු ටික ගහගෙන යනවා. අද එක්සත් ජාතික පක්ෂයත් මහ මුහුදේ මැද වගේ. රැල්ලට ඔක්කොම කුණු ගහගෙන ගියා. දැන් පිරිසිදු පක්ෂයක් විදිහට අපි අපේ ගමන යනවා. මගේ ඇස්වලට කඳුළු එනවා මේ ඊයේ පෙරේදා ආපු හාදයෝ ටිකක් කියනවා එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දේ ඉල්ලන අයට ගහල පන්නන ඕනේ කියල. මෙවැනි අයද අපේ පක්ෂයේ හිටියේ. කෙළෙහිගුණ නැති කූඩැල්ලෝ වගේ. මෙවැනි අය ජනතාව ගැන වගකීම භාරගන්නේ කොහොමද? තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගන්න ප්‍රතිපත්ති පවා දෙන්න පුළුවන් නම් ජනතාව වෙනුවෙන් ඔවුන් මොනවා කරන්නද? සමහරු මුකරිකමින් පක්ෂයනැති කරන්න හැදුවා. නමුත් අපි පක්ෂය වෙනුවෙන් නිහඬව හිටියා. දැන් අපේ පක්ෂය පිරිසිදුයි. ඔවුන්ට පුළුවන් චරිත ඝතනය කිරීම විතරයි.
ජනතාව මුලික කරගෙන කරන මහත්මා දේශපාලනය ස්ථාවරය තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. අපි ප්‍රයෝගිකව දේශපාලනය කරනවා මිසක් සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරලා නිකන් කතා කිරීම නවෙයි කරන්නේ. අපි ප්‍රායෝගිකයි.
එජාපය මේ වෙද්දී ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් එක්ක සාකච්ජා කළා වගේම අගමැතිවරයා ප්‍රමුඛ සර්ව පාක්ෂික හමුවට සහභාගී වුණා. පක්ෂයක් ලෙස මොනවද කළ සුවිශේෂී යෝජනා?
ප්‍රථමයෙන්ම සෞඛ්‍ය තත්ත්වය හා ජනාතාව ජීවත් කරවීමේ වැඩපිළිවෙළ. ඒ කියන්නේ බඩගින්නට කෑම ටික දෙන්නේ කොහොමද, සල්ලි ටික දෙන්නේ කොහොමද, බෙහෙත් ටික දෙන්නේ කොහොමද, මේ වෛරසය නැති කරන්නේ කොහොමද මේ කියන කාරණා. ඊට සමගාමීව තවත් ප්‍රශ්නයක් තියෙනවා රටේ ආර්ථිකය ගැන. මේවා වෙන වෙනම ගන්න බැහැ. දෙක එකට ගමන් කරන්න වෙනවා. අපි කියන්නේ සෞඛ්‍ය අයට ඒ පැත්ත භාර දෙන්න ආර්ථික අයට ඒ පැත්ත භාර දෙන්න. මොකද මේ දෙපැත්තම එකට අරන් යන්න වෙනවා. ආණ්ඩුවයි රටට නිදහස ගෙනාපු රටේ පැරණිම පක්ෂය මේ ප්‍රශ්නවලට එකතු වෙලා විසඳුම් සෙවීමයි කරන්නේ. මේ වගේ ජාතික ව්‍යසනයකදී අවශ්‍ය වෙන්නේ ඒ මැදිහත්වීම.
දැනට බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධන බලකාය තමයි මේ වැඩපිළිවෙළට ප්‍රමුඛ ලෙස දායකත්වය දෙන්නේ. මේ යාන්ත්‍රණය ගැන ඔබට සෑහීමකට පත්විය හැකිද?
අපේ කණ්ඩායම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ක කතා කළා. මේ අවස්ථාවන්ට බැසිල් රාජපක්ෂ මහතා හා නිලධාරී කණ්ඩායම සහභාගී වුණා. අපි අපේ පැත්තේ යෝජනා සහ පෙනෙන්නට තිබෙන අඩුපාඩු පෙන්වා දුන්නා. බස්නාහිර පළාත ගත්තොත් කොළඹ,ගම්පහ,කළුතර මතුවෙලා තියෙන ප්‍රශ්න ඒවාට සම්බන්ධ සියලු පාර්ශව කරුණු දක්වුවා. රූපවාහිනියේ පෙන්නුවට මිනිස්සුන්ට බඩු ටික හරියට යැවෙනවා කියලා ඒක ඒ විදිහටම වෙන්නේ නැහැ. එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒවා තමයි කතා කළේ. නැතුව සුරංගනා කතා, කතා කළේ නැහැ. අපි විවෘත සාකච්ජාවක් කළා. අපි එදා යෝජනා කළා ජනතාවට ඖෂධ ගැනීම සඳහා රට පුරා තිබෙන ෆාමසි අරින්න කියලා. රට පුරා ෆාමසි 3500ක් විතර තියෙනවා. අපි එය යෝජනා කරලා පැය 12ක් යන්නට පෙර ඊට අවශ්‍ය වැඩපිළිවෙල හැදුණා. මේවා තමයි අවශ්‍ය වෙන්නේ. ජාතික ව්‍යසනයකදී කයිවාරු ගහලා වැඩක් නැහැ. ජනතාව වෙනුවෙන් කාර්යභාර්යයක් තියෙනව ඉටු කරන්න. ඒ දේට මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැති වුනොත් මොකද අන්තිමට වෙන්නේ කොරෝනා වලින් මිනිස්සු මැරෙන එක නෙවෙයි බඩගින්නේ සහ බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන එක. ඒ නිසා එවලේම තීන්දු කළා ෆාමසි ඔක්කොම ඇරලා ජනතාවගේ අතටම බෙහෙත් ටික දෙන්න වැඩක් හදන්න ඕනේ කියල. අනිත් අය කතාවෙන් ගමන් කරන කොට අපි ක්‍රියාවෙන් වැඩ කර පෙන්වනවා.
ඒ කියන්නේ ඉදිරියේදී රජයේ මේ යාන්ත්‍රණය තුළ සෘජුවම එජාපය පෙනී සිටිනවා කියන කාරණයද?
නැහැ. එහෙම අවශ්‍යතාවක් නැහැ. අපි මේ එකතු වෙලා ඉන්නේ ජාතික ව්‍යසනයක් වෙනුවෙන්. අපිට අවශ්‍ය වන්නේ අඩුපාඩු පෙන්වා දී මේ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක කරවීම.
නමුත් යෝජනාවක් තියෙනවා සියලු දෙනාටම සහභාගී විය හැකි නිර්දේශපාලනීකරණය වූ යාන්ත්‍රණයක් හදන්න කියල?
මේ වගේ වෙලාවක නිර්දේශපාලනීකරණය වීම අවශ්‍යයි. ඒ නිසා තමයි අපි මැදිහත් වෙලා ඉන්නේ. එහෙම වැඩකරන්න පුළුවන් මොහොතක්. ඊට මැදිහත්වීමයි අවශ්‍ය.
පොදු යාන්ත්‍රණය වෙනුවට එජාපය සහ රජය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බවට පැවසුවා. එකම යාන්ත්‍රණයක් තුළ පෙනී සිටින්නෙත් නැත්නම් මොකක්ද මේ ඒකාබද්ධ ප්‍රකාශයක අවශ්‍යතාවය?
ඒකාබද්ධ ප්‍රකාශයක් කළේ අපි දෙපැත්තම එකම දේ කියන්න ඕනේ නිසා. අපි මේක සද්භාවයෙන් කරන නිසා. අරමුණ එකයිනේ. නැත්නම් වෙනින් වෙනින් ප්‍රකශ කරනවා. ඒක ලාබාල දේශපාලනය. ඒවා නැති නිසා තමයි සමහරු ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නේ. අපි වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන්ගේ කාර්යභාර්ය කරනවා. අනිත් අය කතා කර කර ඉන්නවා.
මේ වැඩපිළිවෙළ භේද භින්න කරලා වැඩක් නැහැ. වෛරසය අවුරුදු ගණනාවක් තියෙන්නේ නැහැ. මේක තියෙන කාලයේ විපතට පත් වූවන් සුවකිරීම හා එය තවදුරටත් වැළඳීම වළක්වා ගැනීම කරන්න ඕනේ.
මෙතැනදී විශේෂයෙන් මතුවන කාරණයක් තමයි වෛරසය ව්‍යාප්තිය වළක්වා ගත්තත් ආර්ථිකය ගොඩ දාන අභියෝගය පහසු නැහැ කියන දේ. ඔබ හිටපු මුදල් අමාත්‍යවරයෙක් සහ විෂය සම්බන්ධයෙන් අවබෝධයක් හැදෑරීමක් ඇති අයෙක් ලෙස කොහොමද මේ ගැන පුරෝකථනය කරන්න පුළුවන්?
මේක තමයි අපි එදා ඉදන්ම කිව්වේ. ආර්ථිකය පැරදුණොත් සියලු යුද්ධ පරදිනවා. මම මුදල් ඇමති වශයෙන් පසුගිය වසර තුනක පමණ කාලයක කරගෙන ගියේ මේ ආර්ථික යුද්ධය ජයගැනීම. නමුත් එය වෙනස් වෙලා අද වෙද්දී ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ජාතික ප්‍රතිපත්තියක් එක්ක ජාතික ආර්ථිකයක් හැදීම අවශ්‍යයි. ඒ නිසා මේ මොහොතට අදාළව තමයි අපි කියන්නේ සෞඛ්‍ය ප්‍රශ්නය ඒ පැත්තෙන් යද්දී ආර්ථිකය හදා ගන්න වැඩේ අනිත් පැත්තෙන් වෙන්න ඕනේ කියලා.
මේ වෙද්දී රජය යම් යම් යෝජනා සිදුකරමින් පවතිනවා. සේවක අර්ථ සාධක අරමුදලෙන් 20%ක් සේවකයා වෙත ලබා දීම, විනිමය නීති ලිහිල් කිරීම හා වාණිජ බැංකු පාර්ශවයෙන් යම් යම් ලිහිල්කරණයක් සිදුකිරීමට මහ බැංකුව උපදෙස් දී තිබෙනවා. මේවා කොතෙක් දුරට යෝග්‍යද?
විපක්ෂයේ ඉඳන් ඕන තරම් උත්තර දෙන්න පුලුඑවන්. නමුත් මම හිතන්නේ ලාභ දේශපාලනය කරනවාට වැඩිය අපිට පුළුවන් මේක තමයි මේ වෙලාවේ කරන්නේ ඕනේ කියල කියන එක. මම හිතන්නේ දක්ෂ දහ දොළොස් දෙනෙක් එකතු වෙලා මේක හදන්න පුළුවන්. සාමූහිකව මේ තීන්දු ගන්න වෙනවා. මේ වෙලාවේ පැලැස්තර ඇලවීම වැඩක් නැහැ. මේ වෛරසය ඇති වීම පදනම කරගෙන දීර්ඝ කාලින ආර්ථික වැඩපිළිවෙලකට යා හැකියි. කෙටි කාලීන උපක්‍රමත් තෝරන්න වෙනවා. නමුත් මේවා ප්‍රසිද්ධියේ කතා කරන එක යුතු නැහැ.
අපි කවදාවත් හිතුවද මේ වගේ දියුණු යුගයක මෙහෙම ලෝකයම එක තැන නතර වෙයි කියලා. මේ වෛරසයට ලෝකයම දණ ගහලා ඉවරයි. ඒ නිසා මෙය පදනම් කරගෙන ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළකට යාමට දැන් සිදුවෙනවා. එය දිගු කාලීන වැඩක්.
නමුත් මේ වෙද්දී ලෝක බැංකුව අනතුරු අගවලා තිබෙනවා විශේෂයෙන් මේ වෛරසයේ හේතුවෙන් වන ආර්ථික කඩා වැටීම ආසියානු කලාපයට විශාල අභියෝගයක් බවරටවල් දුප්පතුන් බවට පත්විය හැකි අනතුරු ඇඟවීම කර තිබෙනවා.
ලෝක බංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙවා කතා පෙට්ටි විතරයි. ඒ අය විසඳුම දෙන්නේ ලෙඩා මැරුණට පස්සේ. මැරුණා කියලා සහතිකය දෙනවා මිසක් මැරෙන්නේ නැති විදිහට වැඩ කරන්නේ නැහැ. මේ වගේ ආයතනවලට පුළුවන් වෙන්න ඕනේ විසඳුම් දෙන්න. ඒ අය කියන්න දෙයක් නැහැ අපි ප්‍රශ්නය දන්නවා. නමුත් ඔවුන්ට අදහසක් තියෙන්න ඕනේ කොහොමද මේ රටවලට උදව් කරන්නේ කියන එක ගැන.
මේ වෙද්දී අපට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ වියදම බිලියන 4680යි. ආදායම බිලියන 1900යි. මේ පරතරය තුළ අද ආදායම තවත් කඩා වැටෙනවා. වියදම අඩු නොවුනට ආදායම අඩු වෙනවා. මේ පරතරය අඩු කරන්නේ කොහොමද කියන එක හදාගෙන යන්න ඕනේ. ඒ නිසා කරන්නේ මොකක්ද කියන එක ප්‍රසුද්ධ කිරිමට වඩා ඒකරාශී වෙලා බුද්ධිමත් කණ්ඩායමක් එකට වැඩකරලා මොඩලයක් හදන්න ඕනේ. මෙහෙමයි, ආණ්ඩුවක් තිබුණ කියල ආණ්ඩුවටම හැමදේම කරන්න බැහැ. අපි ආණ්ඩුවේ හිටියත් එච්චරයි. තනිවම කරන්න බැහැ. ඒ නිසා තමයි අපි මේ පුළුල් මට්ටමේ හිතල එකට සිටිමින් කරන දේ ගැන හිතන්න වෙන්නේ.
අපි අදහස් ඉදිරිපත් කළා. මම ආඩම්බරයෙන් කියන්නේ ඕනේ රනිල් වික්‍රමසිංහ නායකතුමා ඇතුළුව අපි කණ්ඩායමක් ලෙස උපදෙස් රැසක් දුන්නා. මේ දේවල් කරන්න කියල. දැන් තනතුරුවලින් වැඩක් නැහැ. ජනතාවට කන්න තියෙනවා නම් හරි වෙලාවට සල්ලි දෙනවා නම් බෙහෙත් ටික දෙනවා නම් හෙට වෙද්දී යථාතත්ත්වයට පත් වෙන්න පුළුවන් නම් එක තමයි වෙන්න ඕනේ. ලංකාවේ ශ්‍රම බලකාය හැත්තෑ ලක්ෂයක්. ගිය සුමානේ ඇමරිකාවේ විරැකියාවට සහන දෙන්න කියල ඉල්ලුම් කරනවා ලක්ෂ 70ක්. ඉතින් බලන්න මේ මොහොතේ මේ වෛරසය ලෝකය තුළ මොනවගේ ප්‍රශ්නයක්ද ඇති කරලා තිබෙන්නේ. ලංකාවේ අපි එවැනි තත්ත්වයක් ඇති නොවන විදිහටයි වැඩකරන්න වෙන්නේ. අපේ ඇඟලුම්වලට එහේ ඉල්ලුමක් නැත්නම් අපි මෙහෙ කොච්චර මැහුවත් වැඩක් නැහැ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය පරිප්පු ටික මාළු ටික ගෙන්න ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ. ඒ නිසා මේ ගෝලීය තත්ත්වයන් සලකා බලා අපි ආර්ථික විසඳුම් හොයන්න වෙනවා.
මේ වෙද්දී මුහුණ දීමට නියමිත ආර්ථික අර්බුදය කිසියම් හෝ මට්ටමින් කළමනාකරණය කර ගැනීමට රජය ජනතාව වෙත පෙළඹුමක් කරමින් ඉන්නේ?
අපි වවමු රට හදමු කිව්වට දැනටමත් කෝටි 7500ක් බඩු අපි ආනයනය කරනවා. මිරිස්, ලූණු, මුං ඇට,කව්පි, සොයා ඔක්කොම ගේනවා. මෙහෙ හදන්න අපට දැක්මක් සහ ඕනෑකමක් නැහැ. සමහර කාන්තාරවල පවා එළවලු ටික වගා කරනවා. මෙහෙට වුවමනාවක් නැහැ. නමුත් දැන්වත් මේකට අවස්ථාව ඇතිකරගන්න ඕනේ. එවැනි දැක්මක් සහිත පෙළඹුමක් අවශ්‍යයි. ඊට අපි සහය දෙනවා. මොකද අපිට කලින් චෝදනා ආවා පාස්කු බෝම්බ ප්‍රාහරය වෙලාවෙත් ඊට සම්බන්ධ බව කියන අයත් අපි එක්ක ඉන්නවා කියලා. බෞද්ධ අයට එරෙහි කණ්ඩායමක් අපි එක්ක ඉන්නවා කියලා. දැන් ඒ කවුරුවත් අපි එක්ක නැහැ. අපි පිරිසිදුයි. ඒ නිසා දැන් අපිට අභියෝගයක් නැහැ. දැන් අපි ජනතාව වෙනුවෙන් අපේ වගකීම ඉටුකරනවා.
(LNW)