Sunday, July 20, 2025
Follow Us
ජනපතිට ඕනෑ තරම් මැතිවරණය කල්දාන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ මතයක් ඕනෙ නෑ - ගම්මන්පිල

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් තුළ මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වීම නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම් දී ඇතත් එසේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරි වෙනත් දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ පනතෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ සඳහා නියමිත කාලසීමාවක් ද මැතිවරණ පනතේ සඳහන්ව නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.

එසේම ඒ ආකාරයෙන් වෙනත් දිනයක් නියම කර මැතිවරණය පවත්වා, එයිනුත් මාස තුනක කාලයක් ගතවන තුරු මුදල් වෙන්කරවා ගැනීමේ බලය ද ජනාධිපතිවරයා සතුවන බවත් ඒ මහතා සඳහන් කර තිබිණි.

"අද" පුවත්පත වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා නියම කළ දිනට මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම අපොහොසත් වුවහොත් නැවත මැතිවරණ දිනයක් නියම කිරීමට ජනාධිපතිවරයාට හැකි බවත් ඒ සඳහා නියමිත කාලසීමාවක් සඳහන් කර නොමැති හෙයින් රටේ වසංගත තත්වය පහව ගිය පසු ඒ පිළිබඳ අවධානය යොමු කළ හැකි බවයි.

එමෙන්ම අප්‍රේල් 30 වනදායින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුවත් නැවත කෙදිනක හෝ මැතිවරණයක් පවත්වා එයිනුත් මාස 3ක් ගතවන තුරු මුදල් වෙන්කරවා ගැනීමේ බලය ද ජනාධිපතිවරයා සතුවන බවත් ඒ මහතා සඳහන් කර තිබිණි.

ගම්මන්පිල මහතා සඳහන් කරන ආකාරයට නම් 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන තුරුම හෝ මහමැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයාට මැතිවරණ පනතෙන් බලය ලැබෙනවා විය යුතුය.

කෙසේවෙතත් ගම්මන්පිල මහතාගේ නීතිමය තර්ක සම්බන්ධයෙන් ද බරපතළ ප්‍රශ්න ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලය ඇති බවට උපදෙස් දී ඔහුව අමාරුවේ දැමූ නීති විශාරදයින් අතර ගම්මන්පිල මහතා ද සිටි බවත් සිහිපත් කළ යුතුය.

(LNW)