Sunday, July 20, 2025
Follow Us
ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ - හිටපු කථානායක

ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘ භූමියේ ජනතාව මුහුණ දී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ක්‍රියා කළ යුතු අතර ජාතික එකඟතාවකින් පවතින තත්ත්වයට මුහුණ දීම මිස ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.

අගමැතිවරයා විසින් අරලිය ගහ මන්දිරයට සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ජා කිරීම ඊට වැදගත් ප්‍රවේශයක් වනු ඇති බවයි හිටපු කථානායකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව එහිදී කරු ජයසූරිය මහතා විසින් කරුණු කිහිපයක වැදගත්කම මතුකර තිබේ.

දිනපතා වැඩිවන රෝගීන් සංඛ්‍යාව පාලනය කිරීම සඳහා මේ වන විට ගෙන ඇති සියලුම ක්‍රියාමාර්ග පසු විපරම් කිරීම සහ ලෝක ආදර්ශ අනුව ගත හැකි නව ක්‍රියා මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම, අතිශයින්ම සංවේදී මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා දෛනිකව උපයන ආදායමෙන් සිය දරු පවුල් නඩත්තු කරන මිලියන 08කට ආසන්න ජනතාව කෙරෙහි අවධානය යොමුකර ඔවුන්ට සහන සැලසීම,ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වා දෙන පරිදි සම්පූර්ණයෙන්ම පිටුදැකීමට වසරක් ඉක්මවන කාලයක් ගත විය හැකි මෙම වසංගත තත්ත්වය හමුවේ සංවර්ධිත රටවල මෙන් නොව අඩු ආදායම් ලබන රටක් ලෙස අප රටේ ආර්ථිකයට එල්ල වන බලපෑම දිගු කලක් පැවතිය හැකි බැවින් පෞද්ගලික අංශයද විශාල දායකත්වයක් දරන අපනයන,සංචාරක වැනි ක්ෂේත්‍ර රැකගැනීමට සැලැස්මක් සකස් කර ගැනීම හා මැතිවරණයකට වඩා ජනතාව ජීවත් කරවීම වැදගත් වන බව දැඩිව අවධාරණය කළ යුතු නමුත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී ඇති බැවින් මීළඟ පියවර කුමක්ද යන්න පිළිබඳ සියලුම පක්ෂ නායකයන් සමඟ සාකච්ජා කර තීරණයකට එළඹීම කළ යුතු බවයි හිටපු කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

 

(LNW)