Friday, October 18, 2024
Follow Us
එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ගැන එස්බීගෙන් ඉඟියක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතින බව පක්ෂයේ හැසිරීමෙන් දැකිය හැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

එම ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයෙන් දැවැන්ත විරෝධයක් එල්ල වන බව දැකිය හැකි යැයිද තෙල්දෙණිය උඩිස්පත්තුව රංමුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කීවේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලබා නොදෙන බැවින් එම අවස්ථාව බොහෝ දුරට කරු ජයසූරිය මහතාට හිමිවිය හැකි යැයි කී මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය හිමිවිය යුතු වුවත් ඔහුගේ නම යෝජනා කිරීමට හැකියාව ඇති මුල් පෙළේ පුද්ගලයකු පක්ෂය තුළ දැකිය නොහැකියි. අපේක්ෂකත්වය සඳහා හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර ආදීන්ගේ නම් ඉදිරිපත් කරමින් රටට විහිලු සැපයිය හැකියි.නමුත් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවත් නිසැක වශයෙන්ම අප ඔහුව පරාජයට පත් කරනවා. දේශප්‍රේමී, අධිරාජවාදී විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධි අපේ අපේක්ෂකයා නිසැක වශයෙන්ම ජයග්‍රහණය ලබනවා.

ඉදිරි ජනාධිපතිවරණය සදහා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් විසින් අපට සුදුසු අපේක්ෂකයා තෝරා ඉදිරිපත් කරාවි.

අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය මේ වන විට අහෝසි වී හමාරයි. අමාත්‍යධූරය අහෝසි වූ පසු මන්ත්‍රීවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ ප්‍රතිපාදන පාර්ලිමේන්තුව තුළ නැහැ. ඔවුන්ගේ අමාත්‍යධුර අහෝසි වුවත් ඔවුන් සතු පෞද්ගලික කාර්ය මණ්ඩල ඒ අයුරින්ම රාජකාරි කරනවා. ඔවුන්ගේ නිල වාහන, අමාත්‍යාංශය ආරක්ෂක සේවාවන්, ඔවුන්ගේ නිල නිවාස පවා ඒ අයුරින්ම පවත්වාගෙන යනවා.ඩඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදුවන රංගනයක් පමණයි අද දැකිය හැක්කේ.

මේ තුළින් අහිංසක මුස්ලිම් ජනතාව පිළිබඳව වෙනත් ජාතීන් තුළ පවතින සැකය තවදුරටත් තීව්‍ර වෙනවා. අන්තවාදීන් ආරක්ෂා කරන රිෂාඩ් බදුර්දීන් වැනි පුද්ගලයෙක් වෙනුවෙන් සෙසු ඇමතිවරුන් ඉල්ලා අස් වූ විට ඔවුන් සියලූ දෙනාම එක ගොඩට වැටෙනවා. මේ තුළින් ඔවුන් පවසන්නේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා හොඳ බවයි. මුස්ලිම් අමාත්‍යවරුන් නාමිකව ඉවත් වී ඇති නමුත් ඔවුන් ඔවුන්ගේ වරප්‍රසාද ඒ අයුරින්ම භුක්ති විදිනවා.

රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා මෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාවේ සමස්ත තොරතුරු අනාවරණය වී ඇති නමුත් නීතිය හමුවට පැමිණීමේදී එය එක් ස්ථානයක නවතිනවා. එහි නැවතුම අපටද මහත් ගැටළුවක්.

කල් ඉකුත් වූ ඖෂධ ලංකාවට ගෙනැවිත් රෝගීන්ට ලබාදීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කර තිබේ නම් ඔහුට හූ කියා එලවීම නොව ඔහු සිදුකර ඇත්තේ සිරගත කළ යුතු අපරාධයක්. නියමිත බෙහෙත් වෙනුවට තැන් තැන්වලින් ලබාගත් බාල බෙහෙත් ගෙනවිත් ලබාදී තිබෙන්නේ නම් එයද බලවත් වරදක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)