Sunday, July 20, 2025
Follow Us
බැසිල්ගේ මෙහෙයුම සාර්ථකයි - පොහොට්ටුව ඉදිරියේ උකුස්සෝ දණ ගසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වන කෙණෙහිලිකම් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "අත" ලකුණ යටතේ වෙනම තරග කරන බවට පෙරේදා දිනයේදී ප්‍රකාශ කළ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස ද ඊයේ (18) දිනයේදී නිශ්ශබ්දවම ගොස් පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට නාමයෝජනා අත්සන් තබා තිබිණි.

පොහොට්ටුව විසින් ශ්‍රීලනිපයට ලබාදී තිබුණේ ඉතාම අඩු නාමයෝජනා අවස්ථාවන් ප්‍රමාණයක් වීම නිසාත් එක්ව තරග වැදුණ ද මනාප නොදී ශ්‍රීලනිප අපේක්ෂකයින්ව මහමැතිවරණයේදී පරාජයට පත්කරවන්නැයි පොහොට්ටුව විසින් ප්‍රසිද්ධියේම ප්‍රචාරණය කරන නිසාත් ශ්‍රීලනිපය වෙන්ව තරග වැදිය යුතු බවට ශ්‍රීලනිප ආසන සංවිධායකයින් ඇතුළු පාක්ෂිකයින්ගෙන් දැඩි ඉල්ලීම් ඉදිරිපත් වී තිබිණි. පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය තුළ සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර පොහොට්ටුවෙන් වෙන්වීමට නොහැකි බව තරයේ ප්‍රකාශ කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුගේ සහායට මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ද එක්ව තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිලනිවසේදී මේ සම්බන්ධ සාකච්ඡාව පැවැත්වුණේ රාත්‍රියේ ද ශ්‍රීලනිප සාමාජිකයින් සිය ගණනක් එම නිවස වටා රැස්ව වෙනම තරග වදින්නැයි බලකරමින් සිටියහ. කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තත්වය පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් දැනුම් දී තිබුණු අතර දිස්ත්‍රික්ක දෙක තුනක් සඳහා තවත් ශ්‍රීලනිප අපේක්ෂකයකුට බැගින් නාමයෝජනා ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා එහිදී එකඟ වී ඇත.

ඒ අනුව කොළඹ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා එක් අපේක්ෂකයකු බැගින් වැඩිපුර ඉදිරිපත්කිරීමට ලැබුණු අවස්ථාවෙන් සැනසී, තම විරෝධය හකුළාගෙන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර යන ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන් ඊයේ දිනයේදී නිහඬවම ගොස් නාමයෝජනා අත්සන් තබා තිබිණි.

මෙහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සතු ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම පොහොට්ටුව ලකුණට ලැබෙන අතර පොහොට්ටුවේ මනාප ශ්‍රීලනිප අපේක්ෂකයින්ට කොහෙත්ම ලබානොදෙන දැඩි ප්‍රතිපත්තියක පොහොට්ටු සාමාජිකයින් සිටින නිසා ශ්‍රීලනිප අපේක්ෂකයින්ට මනාප ලැයිස්තුවල අවසන් ස්ථානවලට වැටී පරාජය වීමට සිදුවනු නියතය.

(LNW)