Sunday, July 20, 2025
Follow Us
ශ්‍රීලනිප නායකත්වය බාර ගන්නැයි ආසන සංවිධායකයින් දයාසිරිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමාණවත් නාමයෝජනා සං‍ඛ්‍යාවක් නොදීමට විරෝධය පළකරමින් සිය නාමයෝජනා පත්‍රයට අත්සන් නොතබා පැමිණි ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ඊයේ (16) පස්වරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේදී ඉහළම පිළිගැනීමක් ලැබිණි.

ඒ මහතා ශ්‍රීලනිප මූලස්ථානයට එනවිට එහි පැමිණ සිටි ජීවන් කුමාරතුංග, ප්‍රසංග සෝලංග ආරච්චි ප්‍රමුඛ ශ්‍රීලනිප ආසන සංවිධායකයින් ඇතුළු සියයක පමණ පිරිසක් ප්‍රීති ඝෝෂා කරමින් "ජයවේවා" කියමින් ඔහුව පිළිගත් අතර පක්ෂ මූලස්ථානයට ඇතුළු වුණු ජයසේකර මහතා ආගමික වතාවත් වලද නිරත විය.

ඔහුට වටකරගෙන සිටි සංවිධායකයින් මහත් උද්යෝගයෙන් යුතුව දයාසිරි ජයසේකර මහතාට ප්‍රශංසා කළ අතර ශ්‍රීලනිප නායකත්වය බාරගන්නා ලෙස ද ඔහුට ආරාධනා කළහ. ඔවුන් ඔහුව හැඳින්වූයේ "අපේ පක්ෂයේ ගැළවුම්කාරයා" යනුවෙනි.

ශ්‍රීලනිපය තනිව මහමැතිවරණයට තරග වදින්නේ නම් ආසන 20ක් දිනාගත හැකි බව පෙන්වා දුන් ඔවුහු දැනට පොහොට්ටුවේ නාමයෝජනා අත්සන් කර සිටින ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන්ට ද එම නාමයෝජනා ඉවත් කරගන්නැයි දන්වා සිටින ලෙස ද ඉල්ලා සිටියහ.

(LNW)