Saturday, July 19, 2025
Follow Us
වහලෙක් වෙන්න බැරි නිසයි මං පොහොට්ටුවෙන් අයින් වුණේ. ආණ්ඩුව වැඩිදුර යන්නෙ නෑ - වෙල්ගම

දේශපාලනඥයකු නොවන, අත්දැකීම් නොමැති පුද්ගලයකු රටේ නායකත්වයට පත්වූ විට පාලනය ගෙනයන්නේ කෙසේද යන්නම ප්‍රශ්නයක් වන බවත් එහෙයින් වත්මන් පාලනයට වැඩිදුර ගමන් කිරීමට හැකිවනු ඇතැයි තමන් නොසිතන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

"වෙනසකටයි ඇවිල්ලා තියෙන්නෙ, සිස්ටම් චේන්ජ්. ඒ වෙනස මං බලාපොරොත්තුවෙන් ගියෙ අපෙ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ළඟට. තමුන්නාන්සෙලා දන්නවා පළවෙනි රැස්වීම නුගේගොඩ තිබුණු මහින්ද සුළඟ, කවුරුත් බයවුණා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ගිහිල්ලා ඒ රැස්වීමට නඟින්න. අපි අපේ නායකතුමාව ඉදිරියට ගේන්න හැම කැපවීමක්ම කළා.

හැබැයි මම ඒ බලාපොරොත්තු වුණු වෙනස ලබාගන්න බැරිවුණා. මොකද, මේ දින 52 ආණ්ඩුවේදී මට අගමැතිකම ඕනෙ, මට බලය ඕනෙ කියලා එතුමා ඒ තීන්දුව ගත්තු නිසා මං ඉතාමත්ම කළකිරීමට පත්වුණා. විශාල කාලගෝට්ටියක් ඇතිවුණා, මමයි සජිත් ප්‍රේමදාස මැතිතුමායි පාර්ලිමේන්තුවේ කෙළවරකට වෙලා බලාගෙන හිටියා මේ හැසිරෙන ආකාරය.

මම කැමතිවුණේ නෑ පක්ෂෙක වහලෙක් බවට පත්වෙලා ජීවත් වෙන්න. මං අයින් වුණා. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉදිරි ගමනක් පේන්නෙ නෑ. අපි දැක්කා ශ්‍රීලනිප නායකතුමා වැටිච්චි අමාරුව. මං දන්නෑ කොහොමද රෙද්දක් ඇඳගෙන ඉන්නෙ කියලා.

දේශපාලනය නොකරපු කෙනෙක් රටේ නායකයා හැටියට පත්වුණාම ඒ රට කොහොමද ගෙනියන්නෙ ? මං හිතන්නෑ වැඩිකල් යන්න පුළුවන් කියලා. අද රටේ ජනතාව කෑගැහුවෙ නැතිවුණාට ඉතාමත්ම කළකිරීමකින් ඉන්නෙ.

මේ සමගි බලවේගයේ දුරකථනය ජයග්‍රහණය කරවන්න මං ඉහළින්ම ඉන්නවා කියන එක තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පස්වරුවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය සමඟ ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව එම උත්සවය අමතමිනි.

(LNW)