එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය පිහිටුවා ඇති බැවින් ඕනෑම එජාප පාක්ෂිකයෙකුට සමගි ජන බලවේගයට සහාය දැක්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ඊට බාධා කිරීමට හෝ බලපෑම් කිරීමට එජාපයේ කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බවයි කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ, නව සන්ධානයට සහාය ලබාදෙන එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙත එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොමුකර ඇති ලිඛිත දැනුම්දීම සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ සමගි ජන බලවේගයට සහාය ලබාාදෙන පළාත් පාලන මන්ත්‍රීවරුන් අධෛර්යමත් කිරීමේ අරමුණින් මෙවැනි ලිපියක් යවා ඇති බවයි. එහෙත් එවැනි කටයුතුවලින් අධෛර්යයට පත් නොවන ලෙසත් නව සන්ධානයට ලබාදුන් සහාය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඔහු එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 99% ක් ම සමගි ජන බලවේගය සමග එක්ව සිටින බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.
(LNW)