Saturday, July 19, 2025
Follow Us
සජිත්ට සහාය දෙන මන්ත්‍රීවරුන්ට අකිලගෙන් ලිඛිත අනතුරු හැඟවීමක් !

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බැවින් පක්ෂයේ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ඊට සියලුම සහයෝගය දැක්විය යුතු බවත් එසේ නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාව අනුව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලිඛිතව දැනුම් දී තිබේ.

එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවෙහි 3.3 වගන්තිය අනුව පක්ෂයේ අපේක්ෂකයින්ට සියලු සහයෝගය දීමටත් වෙනත් පක්ෂවල අපේක්ෂකයින්ට සහාය නොදීමටත් ඔවුන් වගබලාගත යුතු බවයි.

එජාපයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් අතරින් අති බහුතරය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමඟ එක්ව සිටින නිසා මෙම ලිපිය ඔවුන්ට නිල වශයෙන් කළ අනතුරු හැඟවීමක් ලෙස සැලකිය හැකිය.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා මුලදීම පැහැදිලිව ප්‍රකාශ කළේ තමන් සමඟ සම්බන්ධ වන පළාත් පාලන නියෝජිතයින්ගේ වගකීම තමන් බාරගන්නා බවත් ඔවුන්ට කිසිදු නීතිමය ගැටළුවක් ඇතිවීමට ඉඩ නොතබන බවත්ය.

(LNW)