Friday, October 18, 2024
Follow Us
පාර්ලිමේන්තුව විසුරුවන්න ශ්‍රීලනිපයෙන් සැලැස්මක්

එළැඹෙන ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක යෝජනාවකින් සම්මත විය යුතු බැවින් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලබාගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සමග සමීපව ඇසුරු කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළ නායකයකු සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී නිදහස් පක්ෂයේ ප්‍රබලයා එජාපයේ දෙවැනි පෙළ නායකයාට පවසා ඇත්තේ පළමුවෙන් ජනාධිපතිවරණයක් පවත්වා පසුව මහමැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ ආසන පනහකට ආසන්න ප්‍රමාණයක් බවයි.

මේ අවස්ථාවේ මහ මැතිවරණයකට ගියහොත් දැනට එජාපයට ලැබී ඇති මන්ත්‍රීධුර ප්‍රමාණයම ලබාගැනීමට හැකි බවද නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කර ඇත.

එජාපය පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ යෝජනාවට සහාය ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂයේද, ජනතා විමුක්ති පෙරමුණේ සහාය ගෙන තුනෙන් දෙකේ සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව ශ්‍රීලනිප ප්‍රබලයා එජාප දෙවැනි පෙළ නායකයාට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවත්වීමට සඳහා අනුමැතිය ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් අදහස් විමසා ඇති බව වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ මාර්තු මාසය තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය.
මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක නීතිඥ නිෂාරා ජයරත්නගෙන් කළ විමසීමකදී පැවසුවේ එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රිගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙහි තිබෙන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඡන්දයකට යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර ඇති බවයි. මහමැතිවරණයක් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කර එය සංශෝධනය කිරීමෙන් පසුව බව ඔහු සඳහන් කළේය.

(Aruna)