බැඳුම්කර වංචාවෙන් ප්‍රතිලාභ ලැබූ කිසිවෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුවෙන් නාමයෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සිහිතබා ගතයුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
"මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදුජන පෙරමුණයි අතරේ යම් යම් අර්බුද නිර්මාණය කරන්නත් දයාසිරි ජයසේකර ඇමතිතුමාගෙ මත ප්‍රකාශ කිරීම් හේතුවුණා. ඒ හින්දා ... හැබැයි අපි එකක් කියනවා, අපි බැඳුම්කර වංචාවට සම්බන්ධ වෙච්චි අයට, ඒ බැඳුම්කර වංචාවෙන් සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ගත්ත කණ්ඩායම් නම් අපේ පොහොට්ටුව යටතේ තරගකිරීමක් සිදුවෙන්නෙ නෑ කියන සහතිකය අපට දෙන්න පුළුවන්.
එතකොට, ඒ සියලු දෙනාම කළ යුත්තේ ජනතාවට විශ්වාසයක් ගොඩනැඟීම. මොකද විස්වාසය පළුදු කළේ අපි නෙවෙයි. විශ්වාසය පළුදු කළ අය ඒ විශ්වාසය ගොඩනඟා ගැනීම ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමක්" යනුවෙනුයි ඒ මහතා අවධාරණය කළේ.
ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) අනුරාධපුරයේදී මාධ්‍ය අමතමිනි.
බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුගෙන් 2015 මහමැතිවරණ සමයේදී රුපියල් ලක්ෂ 10ක මුදලක් ආධාර වශයෙන් ලබාගැනීම පිළිබඳ දයාසිරි ජයසේකර මහතාට චෝදනා එල්ල වී තිබුණු අතර තමන් එම මුදල් ලබාගත් බව ඒ මහතා ද පිළිගත්තේය.
(LNW)