Wednesday, July 16, 2025
Follow Us
එජාපයත් ශ්‍රීලනිපයත් එකට තියලා පරද්දන්න එදා ශක්තිය දුන්නේ බැසිල් - එස්. එම්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරකටත් අඩු කාලයක් තුළ 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන ප්‍රබල පක්ෂ දෙකම එකට තියා පරාජය කරවීමට ශක්තිය දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා නොමැති නම් පොහොට්ටු පක්ෂයත් නොමැති බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

එදා ශ්‍රීලනිපය සහ එජාපය එක්ව ආණ්ඩු කරද්දී රට ගැන හිතන අයට එකතු වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවටයි ඒ මහතා සිහිපත් කළේ.

එසේම ඊ කැන්වසින් ක්‍රමය බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට හඳුන්වා දෙද්දී ඒ පිළිබඳ තමන්ට ද වැටහීමක් නොවුණු බව සඳහන් කළ චන්ද්‍රසේන මහතා ආසනයකින් තිදෙනා බැගින් ගෙන්වා ඔවුන්ව පුහුණු කර රට පුරා මෙය ව්‍යාප්ත කිරීමට බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කළ බවත් සංවිධායකවරුන්ටත් එය මඟ හැරීමට නොහැකි වූ බවත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වඩාත් පහසු කළේත් ඊ කැන්වසින් ක්‍රමය බවත් සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති ඊ කැන්වසින් සාමාජික හමුවක් අමතමිනි.

(LNW)