Wednesday, July 16, 2025
Follow Us
හංසයා දුන්නොත් ගන්නවා හැබැයි හංසයා වෙනුවෙන් රවීට තනතුරු දෙන්නේ නැහැ - ෆොන්සේකා

සමඟි ජන බලවේගයේ ලකුණ ලෙස දැනට දුරකථනය ලෙස පවතින අතර හංසයා ලැබුණහොත් භාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ,පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශයේ අද (08) පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් හංසයා ලකුණ වෙනුවෙන් රවී කරුණානායක මහතාට තනතුරු දීමට සූදානම් නැති බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

මේ වන විට කොන්දේසි විරහිතව හංසයා ලකුණ ලබාදීමට රවී කරුණානායක මහතා එකඟ වී ඇති බවට ආරංචියක් පවතින බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන බවට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබුණද සියලු දෙනාටම සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත් වීමට බාධාවක් නොමැති බවයි ඔහු පැවසුවේ.

 

"අවසන් තීරණයක් ගන්න තවමත් කාලයක් තිබෙනවා. ඒ ලියුම ඇරියා කියලා සමඟි ජන බලවේගයෙන් යන්න බැරි නැහැ. ඒ ලියුම ඇරියාද නැද්ද මොකද කරන්නේ කියලා අපිට වැදගත් නැහැ. අපි අනිවාර්යයෙන් සමඟි ජන බලවේගයෙන් යනවා. එජාපය කැඩෙන්නේ නැතිව එකට ඉන්නවනම් හොඳයි. නමුත් එතන කීපදෙනෙක් ඉන්නවා ජනතාව ප්‍රතික්ෂේප කරපු. ඔවුන්ට නාම යෝජනා ලැබෙන එකක් නැහැ."

මේ අතර රවී කරුණානායක මහතාට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවද සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

"හැංගිලා ඉන්න කිසිම හේතුවක් නැහැ. හැමදාම හැංගිලා ඉඳලා බේරෙන්නත් බැහැ. දේශපාලනය කරන්නයි,හැංගිලා ඉන්නයි,ජනතාවට නායකත්වය දෙන්නයි තුනම එකට කරන්න බැහැනේ. එක්කෝ එළියට ඇවිල්ලා දේශපාලනය කරන්න ඕනේ. නැත්නම් දේශපාලනය අතරලා හැංගිලා ඉන්න ඕනේ.'

මේ අතර හිටපු අගමැතිවරයටද එම චෝදනාවන්ගෙන් ගැලවීමට නොහැකි අතර එවකට බැංකු පැවතියේ ඔහු භාරයේ බවයි ෆොන්සේකා මහතා පැවසුවේ.

(LNW)