Wednesday, July 16, 2025
Follow Us
ශ්‍රීලනිපය විනාශ කරන වැඩේ පොහොට්ටුව පටන් අරන්. අපටත් ඉවසීමේ සීමාවක් තියෙනවා - දයාසිරි

මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු කෙනෙකුගේවත් ඡන්ද තමන්ට එපා කියා 2019 නොවැම්බර් 16 වනදාට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමන ඉරණමක් අත්වන්නට ඉඩ තිබුණේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති හෙයින් තමන්ගේ ද ඉවසීමේ සීමාවක් ඉක්මවා යමින් තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

"අද ශ්‍රීලනිපය දෙකේ පන්තියට දාලා පහරදෙන තැනට පත්වෙලා තිබෙනවා. දැන් මේ යූඑන්පීයට බනින්නෙ නෑනෙ. බනින්නෙ ශ්‍රීලනිපයටයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටයි. අපට ප්‍රශ්නයක් නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා හරි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හරි, බැසිල් රාජපක්ෂ මහත්තයා හරි අපි ගරු කරන නායකයො ටික බැන්නා නම් අපට ප්‍රශ්නයක් නෑ. මේ බනින්නෙ පල්ලෙහා ඉන්න පොඩි දේශපාලනඥයො. ඒගොල්ලො ලව්වා බන්නනවා දැන් උදේ ඉඳන් රෑ වෙනකල්.

මේ මාස තුන ඇතුළෙ ආණ්ඩුවෙ එක පාර්ශ්වයක් තව පාර්ශ්වයකට පහර දෙනවා. දැන් හරිද මේක ? කොහොමද තුනෙන් දෙකක ආණ්ඩුවක් හදන්නෙ මෙහෙම ඇතුළෙ රණඩු කරගෙන ? ශ්‍රීලනිපයට ගහනවා දැන් බල්ලොන්ට බළල්ලුන්ට ගහනවා වගේ උදේ ඉඳන් රෑ වෙනකල්. අර කතාවක් තියෙනවානෙ ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා කියලා.

දැන් 2019 නොවැම්බර් 16 මෛත්‍රීපාල සිරිසේනට ගෑවුණු එකෙක්වත් ඡන්ද නොදුන්නා නම් මොකද වෙන්නෙ ගෝඨාභය රාජපක්ෂට ? එහෙනම් ගෝඨාභය මහත්තයා පරාදයි. එදානෙ ඕක කියන්න තිබුණෙ. එදා ඔය ප්‍රසන්න රණතුංගලාට කියන්න තිබුණා මෛත්‍රීපාලට ගෑවුණු එකෙක්ගෙවත් ඡන්ද අපට එපා කියලා. එහෙම කිව්වද ? නෑ ! එදා පුළුවන් තරම් ගිවිසුම් ඕනෙ ගිවිසුම් ඕනෙ කියලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ගිවිසුම් අත්සන් කෙරුවා. හැබැයි දැන් ඇවිල්ලා කියනවා මෛත්‍රීපාලට ගෑවුණු එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා කියලා.

ඒක නිසා අද මේ මොකද්ද කරන්න හදන්නෙ ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන වැඩපිළිවෙල දැන්ම පටන් අරගෙන කට්ටිය. ශ්‍රී ලංකා කාරයො නැත්නම් පොදුජන පෙරමුණක් නෑ. අපි මේ ඉවසලා ඉවසලා තමයි කතා කරන්නෙ. මේකට සද්ද නැතුව නිකම් ඉන්නවාද, මේකට විරුද්ධව විකල්ප බලවේගයක් හදනවාද ? අපි හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනෙ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප සාමාජික හමුවක් අමතමිනි.

(LNW)