Wednesday, July 16, 2025
Follow Us
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිට බන්ධනාගාරයේ සිටම නාමයෝජනා දීම සඳහා අවසර

දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බන්ධනාගාරයේ සිටියදී නාමයෝජනා අත්සන් කිරීමට කොළඹ මහාධිකරණය අද (06) අවසර ලබා දුන්නා.

අද දින මෝෂමක් ගොනු කරමින් විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන බවත් එබැවින් නාමයෝජනා පත්‍ර අත්සන් කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවයි.

ඒ අනුව සජින් වාස් ගුණවර්ධනට මාර්තු මස 12 සිට 19 කාලය අතරතුර නාමයෝජනා පත්‍ර අත්සන් කිරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අවසර ලබා දුන්නා.

නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් හට බලපෑම් කර ඇති බවට වූ චෝදනාවක් සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන මාර්තු මස 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී නීති විරෝධීව රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා මත සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සඳහා සක්‍රීයව දායක වී ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටි.

සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් 306,268,194 ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබෙනවා.

(Neth)