Wednesday, July 16, 2025
Follow Us
වෙල්ගමගේ ’නව ලංකා නිදහස් පක්ෂය’ අද එළිදකී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය අද (06) සිය දේශපාලන කටයුතු ආරම්භ කරන බව වාර්තා වේ. අද පැවැත්වෙන සමාරම්භක උත්සවය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු හිටපු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද සහභාගි වන බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කිරීම හේතුවෙන් කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවත් වූ අතර ඔවුන් පසුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් විය.

එසේ ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගිය කණ්ඩායම විසින් නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන තිබේ.

වත්මන් ශ්‍රීලනිප නායකත්වයේ තීන්දු තීරණ අනුමත නොකරන, බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කරන ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙනුවෙන් නව පක්ෂය ගොඩනැගූ බව නව ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධීකාරක රජික කොඩිතුවක්කු මහතා පවසනවා.

මේ අතර කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

(LNW)