අද දවස තුල එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදයේ නිමාවක් දැකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
පක්ෂය බෙදා වෙන්වීමකින් තොරව අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට දෙපාර්ශ්වයේම එකඟතාව ලැබී ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරු ජයසූරිය මහතාට බාර දීමට එකඟතාවකට පැමිණ ඇති අතර කරු ජයසූරිය මහතාද ඊට කැමැත්ත පළ කර ඇති බවයි සේනාරත්න මහතා කියා සිටියේ.
දෙපාර්ශ්වයේ පවත්නා අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා වූ සාකච්ඡා වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා පත්කර තිබූ අතර ඊයේ දින ඔහු හා සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිබේ. කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් හා උපදෙස් මත අලියා ලකුණින් මහ මැතිවරණයට තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සිය කැමැත්ත පළ කර තිබේ.
පක්ෂයේ සමගිය වෙනුවෙන් මහලේකම් ධුරය අත්හැරීමට අවශ්‍ය නම් ඊට තමන් සූදානම් බව එජාප වත්මන් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කැමැත්ත පළ කර ඇති බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සියලු ගැටලු නිරාකරණය වනු ඇති බවයි රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ.
(LNW)