සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (5 වැනිදා) සිට සිදුකරන බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ (3 වැනිදා) ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය ඇතුළුකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයට යාබදව අලුතින් පිහිටුවන බවද කී මහලේකම්වරයා අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ සිදුකරන්නේ එම කාර්යාලයේදී බවද ප්‍රකාශ කළේය.
මේ වන විට අපේක්ෂකත්වය සඳහා අයැදුම්පත් රැසක් ලැබී ඇතැයි කී හෙතෙම සජිත් ප්‍රේමදාසගේ සභාපතිත්වයෙන් යුත් නාම යෝජනා මණ්ඩලය අද (4 වැනිදා) රැස්වන බවද කීවේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී රවින්ද්‍ර සමරවීර ප්‍රකාශ කළේ ඊයේ (3 වැනිදා) උදේ එජාප සංවිධායකවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සිරිකොතට කැඳවා සමගි ජන බලවේගය පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැර ඇති බවයි.
සමගි ජන බලවේගය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන තිබෙන බවද රවීන්ද්‍ර සමරවීර හිටපු මන්ත්‍රීවරයා කීවේය.
(Aruna)