Tuesday, July 15, 2025
Follow Us
ඡන්ද විමසීමෙන් අලියාට බහුතරය - දුරකථනය ලකුණට ඡන්ද 06යි

එළඹෙන මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය පළවී තිබෙනවා.

ඒ, ඊයේ (01) රාති‍්‍රයේ රැස්වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. සමගි ජනබලවේගය ද ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණ තෝරා ගත යුතු බවටයි එහිදී තීරණයකට එළඹ ඇත්තේ.

එහෙත්, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය ඊට එකඟතාවය ලබාදී නැහැ.

ඊයේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වූයේ එළඹෙන මහ මැතිවරණයේදී තරග වදින ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම මීට පෙර ද අවස්ථා කිහිපයකදී රැස්වුවද, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකිවූයේ නැහැ. එවන් පසුබිමකයි සමගි ජන බලවේගය පිහිටුවීමට දිනයක් තිබියදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (01) රාති‍්‍රයේ යළි රැස්වුණේ.

රාතී‍්‍ර 07.00 ට පමණ ආරම්භ වූ මෙම රැස්වීම රාතී‍්‍ර 11.00 ට ආසන්න වන තෙක් පැවතුනා. අලියා හෝ හංසයා ලකුණ මහ මැතිවරණයේදී භාවිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී දී්ර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

හංසයා ලකුණ ලබාගැනීමේදී මතුවිය හැකි නීතිමය කරුණු සලකා හංසයා ලකුණ ප‍්‍රතික්ෂේප කිරීමට මෙහිදී සියලූ පාර්ශ්වවල එකගතාවය ලැබී තිබුණා.

අනතුරුව සාකච්ඡා වී තිබුණේ අලියා හෝ වෙනත් ලකුණකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමටයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ බහුතරය ප‍්‍රකාශ කර තිබුණේ අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමටයි.

එහෙත් මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ඊට විරෝධය පළ කළා. එලෙස විරෝධය පළ කළේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, තලතා අතුකෝරළ හා චන්ද්‍රානි බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමයි.

ඔවුන්ගේ මතය වී ඇත්තේ සමගි ජන බලවේගය ලෙස දුරකථනය ලකුණින් එළඹෙන මහ මැතිවරණයට තරග කළ යුතු බවටයි.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා. එහිදී මෙම මන්තී‍්‍රවරුන් 06 දෙනා හැර සෙසු බහුතරය පවසා තිබුණේ අලියා ලකුණින් මහ මැතිවරණයේදී තරග කළ යුතු බවටයි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ සන්ධානයේ ලයිස්තුව අලියා ලකුණ යටතේ යොමු කළ හැකි බවත් සන්ධානයට එයා බාධාවක් නොවන බවත් එහි වැඩකටයුතු සුපුරුදු පරිදි සිදු කළ හැකි බවත් පෙන්වා දුන්නා.

නෙත් නිවුස් ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සමගි ජන බලවේගය ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු කියා සිටියේ බහුතරයකගේ කැමැත්ත මත එළඹෙන මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග වදින බවයි.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සමගි ජනබලවේගය යන නමින් සිදුකරන බවයි මහ ලේකම්වරයා කියා සිටියේ. සන්ධානයේ නායකත්වය, අග‍්‍රාමාත්‍ය අපේක්ෂකත්වය මෙන්ම නාම යෝජනා ලබාදීමේ බලය ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදුන් බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)