එක්සත් ජාතික පක්ෂයෙහි බෙදීමක් සිදුවන්නේ නම් එහි නායකත්වය භාරගැනීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
සජිත් පාර්ශ්වය ඉවත්ව ගියහොත් එජාප ඉතිරි කොටසෙහි නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරිය මහතාට භාර කෙරෙනු ඇති බවට මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් පිළිබඳ ලංකා නිව්ස් වෙබ් අප කළ විමසීමකදී කරූ ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෑත කාලීනව පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් අර්බුද ඇතිවූ සෑම අවස්ථාවකදීම දෙපාර්ශ්වය සමගි කරවීම සඳහා තමන් මැදිහත්ව ක්‍රියා කළ බව සිහිපත් කළ ඒ මහතා ඒ සෑම අවස්ථාවකදීම තමන් උත්සාහ කළේ පක්ෂය එකමුතුව තබා ගැනීමට බවයි අවධාරණය කළේ.
මීට පෙර ද විවිධ තනතුරු භාරගන්නා ලෙස තමන්ට ආරාධනා කෙරුණු නමුත් පක්ෂය බෙදීමකට ලක්වන්නේ නම් තමන් ඊට එකඟ නොවන බව ඉතාම පැහැදිලිව ඒ ඒ අවස්ථාවන්හිදී තමන් සඳහන් කළ බව පෙන්වා දුන් කරූ ජයසූරිය මහතා තමන්ගේ එම ස්ථාවරය කිසිදු ආකාරයකින් වෙනස් වී නොමැති බවත් ප්‍රකාශ කළේය.
(LNW)