Friday, October 18, 2024
Follow Us
සහරාන් වැඩකළේ මෛත්‍රීට - හිස්බුල්ලා සාක්ෂි දෙයි(VIDEO)

2015 මහමැතිවරණයේදී සහරාන් හෂීම් සහය දැක්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයට බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහොමඩ් හිස්බුල්ලා මහතා පැවසීය.

හිස්බුල්ලා මහතා මේ බව සඳහන් කළේ අද (13) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

එම මහමැතිවරණයේදී තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ අතර තමන් සහය දැක්වූයේ මහින්ද රාජපක්ෂ මහතාට බව ඔහු කියා සිටියේය.

සහරාන් හෂීම් දිගින් දිගටම තමන්ට හා තම පවුලට එරෙහිව වෛරී සහගත ලෙස කටයුතු කළ අතර නිරන්තරයෙන් ඔහු තමන්ට එරෙහිව මත පලකළ බවයි හිස්බුල්ලාමහතා පැවසුවේ.

කෙසේවෙතත් මහමැතිවරණය සමයේ සහරාන් හෂීම් සමඟ ගිවිසුමකට එළඹීමත් නාමයෝජනා කැඳවීමෙන් පසු ඔහුගේ කැඳවීමකට අනුව රැස්වීමකට සහභාගී වූ බවත් හිටපු ආණ්ඩුකාරවරයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ තමන් පමණක් නොව කාත්තන්කුඩි නියෝජනය කළ සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂ සහාරාන් හෂිම්ගේ කැඳවීමට අනුව ඔහු මුණගැසීමට ගිය බව හෙතෙම පැවසුවේය.

සහරාන් හෂීම් තමන්ට එරෙහිව කටයුතු කළ බවට හිස්බුල්ලා මහතා පවසා තිබූ පසුබිමක ඔහුගේ කැඳවීම අනුව එහි ගියේ ඇයිද යන්න කාරක සභාව විසින් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් හිස්බුල්ලා මහතා පැවසුවේ ඒ ජන්ද වෙනුවෙන් ගිය ගමනක් බවයි.

සහරාන් හෂීම් සතුව ජන්ද 1000ක් 2000ක් පමණ පැවති බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම 2017 වසරේ මාර්තුවෙන් පසු සහරාන් හෂීම් කාත්තන්කුඩි ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට තමන් වෙත තොරතුරු නොලැබුණ බවද හිටපු ආණ්ඩුකාරවරයා කාරක සභාව හමුවේ පැහැදිලි කළේය.

(LNW)