Tuesday, July 15, 2025
Follow Us
නාමල්ට රට යන්න අධිකරණයෙන් අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර, අධිකරණය භාරයේ තිබූ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීමට අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

අයථා මුල්‍ය වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය. ඒ අනුව ජුලි මස 23 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින්, ගවර්ස් කෝපරේෂන් නමැති සමාගමක් හරහා රුපියල් මිලියන 30 කට අධික, අයථා ලෙස උපයා ගත් මුදලක් විශුද්ධ කරන ලද බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව තවත් පුද්ගලයන් තිදෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මෙම නඩුව ජුලි මස 23 වැනිදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

(LNW)