පාර්ලිමේන්තුවේ දැනට සිටින බහුතරයකට එල්ල වී ඇති මූල්‍ය චෝදනා, දූෂණ-වංචා චෝදනා සැලකීමේදී රන්ජන් රාමනායක මහතා කිසිදු වරදක් සිදුකර නොමැති බැවින් ඔහුට මහ මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබීමට කිසිදු ඉඩක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඔහු සිදුකළ එකම වරද දුරකතන සංවාද පටිගත කිරීම බවත් එය සදාචාරාත්මක ගැටලුවක් මින් නීතිමය පැත්තෙන් කිසිදු වැරැද්දක් නොවන බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.
අද (27) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය කියා සිටියේ රන්ජන් රාමනායක මහතාට ඇප ලැබීම සම්බන්ධයෙන් තමා අතිශය සතුටට පත්වන බවයි.
කිසිදු බොරුවක් වංචාවක් සිදු නොකළ රන්ජන් රාමනායක මහතා සිදුකළ එකම වංචාව සිය තට්ටය වසා ගැනීම සඳහා බොරු කොණ්ඩයක් පැළඳීම බවත්, ඉන් රටේ ජනතාවට හෝ සමාජයට හෝ කිසිදු වැරැද්දක් සිදුව නොමැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. එම වංචාවද දැන් මුළු රටටම අනාවරණය වී රන්ජන් රාමනායක මහතා එම වංචාවෙන්ද නිදහස් වී ඇති බැවින් ඔහු දැන් පිරිසිදු දේශපාලනඥයෙකු බවයි ඇයි පෙන්වා දෙන්නේ.
(LNW)