දිවි නැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 06 වැනිදා සිට නඩුව විභාගයට ගැනීමට නියමිතය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපල මහතා ඉදිරියේ කැඳවා තිබිණි.
2015 වසරේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා, දිවි නැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි යන චෝදනා මත මෙම නඩුව ගොනුකර තිබේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක කිත්සිරි රණවක මහතා නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥයන් ඉල්ලා සිටියේ නඩුවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන, ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පිටපත් ලබාදෙන ලෙසයි. ඒ අනුව එම ප්‍රකාශවල පිටපත් ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.
අනතුරුව මෙම නඩුව අගෝස්තු 06 වැනිදා දක්වා කල් තැබූ අතර එදින සාක්ෂි විභාගය ආරම්භ කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
(LNW)