Tuesday, July 15, 2025
Follow Us
ජනතාව ගෝඨාභයට ඡන්දෙ දුන්නේ සහන, සංවර්ධනය, රස්සා බලාගෙන නෙවෙයි - ශාන්ත

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන්නේ සහන, සංවර්ධන කටයුතු හෝ රැකියා බලාපොරොත්තුවෙන් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

"මේ මැතිවරණයේදී පොහොර නිකම් දෙනවා කියලාවත් එහෙම නැත්නම් සංවර්ධන කටයුතු කරනවා කියලාවත් එහෙම නැත්නම් රැකියා දෙනවා කියලාවත් නෙවෙයි බුද්ධිමත් ජනතාව, බුද්ධිමත් රාජ්‍ය සේවකයින් මේ වර්තමාන ආණ්ඩුව පිහිටුවන්න ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගේන්න ඡන්දෙ දුන්නෙ මොනවත් බලාගෙන නෙවෙයි.

පහුගිය ආණ්ඩුවෙ තිබ්බ දුර්වලතාවය නිසා, පහුගිය ආණ්ඩුවෙ තිබ්බ වැරදි ක්‍රියාමාර්ග නිසා මිසක් වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ රටේ ජනතාව ඔක්කොම පෙළ ගැහුණෙ රට වෙනුවෙන්. රටේ ජාතික ආරක්ෂාව පිරිහිලා තිබ්බෙ. දේශපාලන ස්ථාවරත්වය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබුණෙ. ජනාධිපතිතුමා කියන එක අගමැතිතුමා පිළිගන්නෙ නෑ, අගමැතිතුමා කියන එක ජනාධිපතිතුමා පිළිගන්නෙ නෑ, ඒකෙ පීඩාව ආවෙ කාටද ? ඒකෙ පීඩාව ආවෙ ජනතාවට.

ඒ නිසා දේශපාලන වශයෙන් අස්ථාවර වුණා. මේ රටේ හැම ජනතාවම බලාපොරොත්තු වුණ ඒ ජාතික ආරක්ෂාවත් බිඳ වැටුණාට පස්සෙ ඒ ආණ්ඩුව පළවාහරිනවා හැරුණාම ජනතාව වෙන මොකද්ද ගන්න තීරණේ ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සජීවී දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

(LNW)