ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයට තවත් දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීමට විධායක සභාව ඊයේ (25 වැනිදා) අනුමැතිය ලබාදී තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසය, ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජාතික කොංග්‍රසය, දමිළ මහජන විමුක්ති සන්ධානය, එක්සත් මහජන පක්ෂය එම දේශපාලන පක්ෂ වෙයි. ඒ අනුව මෙම සන්ධානයේ සාමාජික පක්ෂ සංඛ්‍යාව 14කි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (25 වැනිදා) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සන්ධානයේ නායකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආරම්භයේදීම අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම් බැසිල් රාජපක්ෂ පැවැසුවේ ශක්තිමත් දේශපාලන ගමනක් උදෙසා නව සන්ධානය කටයුතු කරන බවයි. මෙම සන්ධානයේ නියෝජ්‍ය සභාපති ලෙස දිනේෂ් ගුණවර්ධනද ජාතික සංවිධායක ලෙස විමල් වීරවංශ මහතාද, උප සභාපතිවරුන් ලෙස වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන මහත්වරුන්ද, උප ලේකම්වරුන් ලෙස අසංග නවරත්න, ඩී. කලංසූරිය යන මහත්වරුන්ද පත් කිරීමට විධායක සභාවේ අනුමැතිය හිමිවිය.
(Lanka Leads)