Monday, July 14, 2025
Follow Us
ලකුණ ගැන සමගි ජන බලවේගය රහසක් රකිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹයි

ලකුණ පිළිබඳ ගැටළුව මෙතෙක් අවසන් නොවුණ ද ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ සමගි ජන බලවේගය නමින්. ඒ අනුව දිවයිනම ආවරණ වන පරිදි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. ලකුණ පිළිබඳ ගැටළුව කඩිනමින් විසදා ගැනීම තම පාර්ශ්වයේ අරමුණ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියා.

හංසයා සහ හදවත ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳවද නෙත් නිවුස් මන්තී‍්‍රවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "සමගි ජන බලවේගයට නීත්‍යානුකූල ලකුණක් තියෙනවා. ඒ සළකුණෙන් යන්නේ නැතුව අපි වෙනත් සළකුණක් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි හදවත, හංසයා වගේ ලකුණු ගැන කතා කළේ. පාර්ලිමේන්තුව විසිරුව දවසට පසු වැනිදා අපේ සළකුණ නීත්‍යානුකූල සළකුණ බවට පත් කර ගන්නවා. " යනුවෙනි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්‍ෂය තුළ කිසිඳු බෙදීමක් හෝ කිසිඳු ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා. ලකුණක් සම්බන්ධයෙන් අර්බුදයට පත්වීමට තරම් එක්සත් ජාතික පක්‍ෂය පහතට ඇද දැමිය යුතු නොමැති බවයි මන්තී‍්‍රවරයා සඳහන් කළේ.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය නමින් ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කර ඇතත් ඔවුන්ගේ ලකුණ සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ අර්බුදයක්. හංසයා ලකුණ ලබාදීම සම්බන්ධයෙන්ද මේ වනතෙක් කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

(Neth)