Monday, July 14, 2025
Follow Us
සජිත් එන දිස්ත්‍රික්කය තාමත් රහසක් !

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ කුමන දිස්ත්‍රික්කයෙන්ද යන්න පිළිබඳව තමා තවමත් තීරණය කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිස්ත්‍රික්ක කිහිපයක එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලා සහ මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම් ද සලකා බලා මැතිවරණයට තරග කරන දිස්ත්‍රික්කය පිළිබඳව තීරණය කරන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අද (21) අස්ගිරි - මල්වතු මහා නා හිමිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කුමන දිස්ත්‍රික්කයකින් ඉදිරිපත් වුවද ජයග්‍රහණය පිළිබඳව ගැටලුවක් නොමැති බවත්, එසේම රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පවසයි. ජනතාව දිනවන අලුත් දර්ශනයක්, අලුත් වැඩපිළිවෙළක් සමග මැතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු අවධාරණය කරනවා.

1994 වසරේ සිට සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඉදිරි මැතිවරණයේදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවට වාර්තා පළ වූ අතර පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ මහතාට තරගයක් දීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවට ද වාර්තා පළවිය.

(LNW)