Monday, July 14, 2025
Follow Us
රට ඇතුළෙ තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනිච්චෙ රාජපක්ෂලා - විපක්ෂ නායක

2009 වසරේ යුද්ධය අවසන් වී දින කිහිපයක් ඇතුළත, එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා සමග එවක පැවති රජය අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය හරහා ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පියවර ගැනීමට පොරොන්දු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රට තුළ තිබූ ප්‍රශ්නය, අභ්‍යන්තරව විසඳාගත හැකිව තිබූ ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙනගියේ එවකට සිටි රාජ්‍ය නායකයා බවත් රටේ ස්වෛරීත්වය, රණවිරුවන් ඒ හරහා පාවාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එ.ජා. මහ ලේකම්වරයා සමග අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය හරහා එවකට පැවති රජය විසින් අවසන් යුද සමයේදී මානව හිමිකම් උල්ලංගනය වන සිදුවීම් සිදුවූවා යැයි පිළිගත් බවත්, එම මානව හිමිකම් උල්ලංඝන වීම් පිළිබඳ සොයා බැලීමට උගත් පාඩම් කොමිසම ඇතුළු ආයතන පිහිටුවීමට සිදුවූයේ ඒ නිසා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

එදා රට පාවාදුන්, රටේ ස්වෛරීත්වය පාවාදුන් පුද්ගලයන් අද රණවිරුවන් පාවාදෙන බව පවසමින්, රට පාවාදෙන බව පවසමින් වෙනත් පාර්ශ්වවලට චෝදනා කරන බවත් දේශද්‍රෝහී, රාජද්‍රෝහී ලේබල් ඇලවීමට උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

එදා සිටි පාලකයන් පොට වරද්දා ගැනීම හේතුවෙන් අද සමස්ත රටටම ජාත්‍යන්තරය හමුවේ වගකීමට බැඳී සිටින හෙයින් කුමන පාර්ශ්වයක් බලයට පත් වුවද එම වගකීමට බැඳී සිටින බවත් ඉන් ගැලවිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

(LNW)