Monday, July 14, 2025
Follow Us
චන්ද්‍රිකා ​ පොහොට්ටුවට! නව සන්ධානයෙන් තනතුරකුත්..

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකද සම්බන්ධ කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඇයටද නව සන්ධානයේ තනතුරක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි. ඉතිහාසයේ පළමු වරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සහ වර්තමාන ජනාධිපතිවරයා ආශීර්වාදය ඇතිව ජනාධිපතිවරුන් තිදෙනෙක් ප්‍රමුඛ කරගත් එකම ශක්තිමත් සන්ධානය ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ බවද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (18 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකද ඉදිරියේදී මෙම සන්ධානයට එක්වුවහොත් ජනාධිපතිවරුන් සිව්දෙනෙක් එක්ව සිටින බලවත්ම සන්ධානයක් බවට එය පත්වන බවද ඔහු පවසා සිටියේය. හිටපු ජනාධිපතිනිය කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් කරවීමට කැමැත්තක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නා බවත් සියලු වාද විවාද දුරලමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට නව සන්ධානයේ සියලුදෙනා දායක වන බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියේය.

(Lanka Leads)